විදුහල්පති තනතුරු 4500 විභාග අසමත්වූ අයට! ‍ආශ්චර්යය ගොඩ නගන්නේ හිටගෙන ය!

Posted on November 2, 2010



විදුහල්පති තනතුරු දැරීමට පෙර සමත්විය යුතු විභාගයක් තිබේ. ඒ විභාගය අසමත් වූ විදුහල්පතිවරු 4500 ට පත්වීම් දෙන්නට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්ථා වී තිබේ.

මේ තීන්දුව අතිශයින් සුභ දායක එකකි. විභාගයක් ෆේල්වීමේ දුක හොදින් දන්නා අය මේ නිසා විදුහල්පති තනතුරුවලට පත්වීමෙන් අපි වගේ විභාග ෆේල්වී බ්ලොග් ලියන්නට විතරක් දන්නා අයට අතිශය වාසියක් මේ නිසා අත්වෙන නිසා ය. අඩුවශයෙන් උන් ගැන අනුකම්පාවෙන් බැලිය හැකි විදුහල්පතිවරු පාසල්වලට ලැබීම නිසා ය.

ඇත්තටම ජනතාව ගැන සංවේදි නායකයෙකු ලැබු‍නැයි උදන් ඇනු අය උදන් ඇනුයේ ඇයිදැයි තේරෙන්නේ දැන් ය.

අධ්‍යාපන ගැන නොදන්නා ඊනියා බුද්ධිමතුන් මෙවැනි දේවලින් කම්පා වී ආණ්ඩුව විවේචනය කරන්නට පුලුවන. උන්ට තිබෙන ලොකුම දුර්වලකම නම් විභාග පාස්වූ පමණින් අධ්‍යාපන ගැන තමන් දන්නවා යැයි සිතීම ය.

අධ්‍යාපනය කියන්නේ රටේ පාලකයින්ට අවශ්‍ය ආකාරයේ ජනතාවක් නිර්මාණය කිරීමේ ආයතන රටාවකි. වෙන බොරු ආටෝපවලින් ලස්සන කරන්නට හැදුවත් මේ ඇත්ත වසං කළ නොහැකි ය. විභාග පාස්කළ අයට තිබෙන ලොකුම දුර්වලකම නම් අධ්‍යාපනය ගැන විවිධ උගතුන් පළ කළ අදහස්වලම එල්බ ගෙන සිටීම ය. දන්නවා වැඩිවුනහමත් අමාරු ය.

ඒ වචන තිබෙන්නේ විභාගයට ලියන්න විතර ය. වැඩ යන්නේ වෙනම විදිහකට ය. ඇත්තටම අපට විභාග සමත් අය අවශ්‍ය නැත. කිසිදෙයක් කරන්නට බැරි උන් නිසා ය.

එහෙම බැලුවහම මේ තීරණය පොළොවේ පය ගසා සිටින උදාර නායකයෙකු අතින් මිසක් ගත නොහෙන තීරණයකි.

හොද වෙලාවට චන්දය වැඩිපුර ඇත්තේ විභාග පාස් කළ අයට නොවේ ය. නැත්නම් මෙහෙම පොළොවේ පයගහන් ඉන්නට හැකි නායකයෙකු වෙනුවට වෙන කෙනෙක් පත් කරගන්නට ඉඩ තිබුනේ ය.

මේ පත්වීම් නිසා තවදුරටත් විභාග ෆේල්වන ප්‍රමාණය වැඩිවී රට රැකෙනවා ඇත. රට අගාධයට යතැයි කම්පා නොවී දැන් නිදහසේ නිදා ගත හැකි ය.

අපි හැමට සුභ අනාගතයක් දැන් නම් අත්වෙන එක වළක්වන්නට බෑන් කී මූන්ට ඇම්නැස්ටියට එරික් සෝල්හෙයිම්ට නොව ශක්‍රයාටවත් බැරි ය.

(ප.ලි. විභාග මුළුමනින්ම තහනම් කර දමන්නට නීති ගෙනෙන්නට බැරි ද? විභාගය අධිරාජ්‍යවාදීන්‍ විසින් අපට හදුන්වා දුන්නකි. විභාගයට තිත! විභාග ත්‍රස්තවාදයට එරෙහිව! නැගලා යන සටන් පාඨ දෙකකි. එකක් පැරණි ය. අනික උණු පාන් ගෙඩියක් තරමට නැවුම් ය. සටන් පාඨ දෙකම අන්තරේට වුනත් සළකා බැලිය හැකි ඒවා ය. අදහස් එනකොට එන්නේ පෙරහැරේ ය. ශිෂ්‍ය අසහනය දුරු කළ හැකි මීටත් වඩා අගනා සොයාගැනීමක් තිබිය හැකි ද? යුරේඛා!)

Posted in: Uncategorized