ඇම්නැස්ටිය සවුදියේ අභ්‍යන්තර කටයුතු වලට අත පොවයි!

Posted on November 1, 2010



පැරණි මිතුරන් නැවත හමුවී ඇත. ඒ සවුදි අරාබියේ ලාංකික කාන්තාවකට පනවන ලද මරණ දඩුවමට එරෙහිව අරගලය තුළ ය.

එක් පැත්තකින් 88-89 සමයේ ලංකාවේ ජනතාවගේ උල්ලංඝනය වූ මානව හිමිකම් පිළිබදව ලෝකෙට කේලාම් කියා ලංකාවේ ප්‍රතිරූපය කෙළෙසූ  මහින්ද රාජපක්ෂ ය.

අනිත් පැත්තෙන් ඔහුට උල්පන්දම් දුන් පසුකළෙක ඔහුටම පිටුපෑ ඔහුගේ එවකට සටන් සගයා වූ ඇම්නැස්ටි ය.

අපි ඊයේ පෙරේදා ඇම්නැස්ටියට ඇස්ටි හැලෙන්න දුන්නේ අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීම ගැන උන් සමග උරණ වෙලා ය. අපේ රටේ ‍ප්‍රතිරූපය කෙළෙසීමට ඉදිරිපත්විම ගැන හිතේ තරහක් ඇතිව ය. දැන් ඒ සතුරන් සමග අත්වැල් බැදගන්නට අපට සිදුව තිබේ. ‍අපිටම මෙහෙම වෙන්නේ මන්ද?

(රජතුමාට එහෙම නොහිතුනත් අපට එසේ හිතෙන්නේ මන්ද? කරුමය යයි කියන්නේ ඕකට විය හැකි ය.)

නැවත වතාවක් පැරණි මිතුරන් හමුව ඇතැයි අප කීවේ ඒ නිසා ය. මෙහෙන් රජතුමා අපේ රිසානා වෙනුවෙන් සමාව ඉල්ලද්දී අරහෙන් ඇම්නැස්ටිය ද රිසානා වෙනුවෙන් පෙනී සිටිමන් සවුදියට ඇගිලි ගසයි.

අප මේ අතරමං වී ඇත්තේ මිතුරන් හතුරන් අදුනාගන්නට බැරිව ය. එන්ජීඕ කාරයින් සමග අපේ රජතුමාට පෙළගැහෙන්නට සිදුවීම ගැන අඤ්ඤ කොරොස්සන් වෙලා ය.

සවුදියට ඇගිලි ගහන එක එක අතකට හරි ය. උන් අපේ උන්ට එහෙ එන්නටත් තහංචි දැම්මෝය. එහෙම වුන්ට සතුරා තැළුවත් කමක් නැත.

සතුරන් හා මිතුරන් මෙහෙම මාරුවෙන්නේ නැත්නම් ජීවිතය කොච්චර පහසු ද? රේඛා අලුතෙන් අදින්නට සිදුවීම කෙතරම් නම් ඛේදයක් ද?

දැන් පොඩ්ඩක් ඉන්න. සමුගන්නට මත්තෙන් සැක හැර දැන ගත යුතු තවත් දෙයක් තිබේ. මින්මත්තට ඇම්නැස්ටියට ඇස්ටි හැලෙන්න දිය යුතු ද? නැත් ද? ඇම්නැස්ටිය කලු ද? සුදු ද? එය සමග එකට හිට ගැනීම හොද ද? නරක ද? අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීම හොද ද නරක ද?

මේ අවුලෙන් අප ගලවා ගන්නට පුලුවන් කෙනෙක් ඉන්නවා ද? අනේ අපොයි මොකද අපට මේ වුනේ?

Advertisements
Posted in: Uncategorized