තුන්කල් දැක්ම බලන්නට ගිය තුන් කල් නොදුටු දයානි

Posted on October 31, 2010



තුන්කල් නොදුටු එකේ විපාකයක් ලෙස තුන්කල් දැක්ම වැස්සෙන් සේදී ඉනුත් නොනැවතී මඩ වළක්ම වී ගිය හැටි අපි පසුගිය දාක සටහන් කළෙමු. මේ සටහන එය බලන්නට ගිය තුන් කල් නොදුටු දයානි ගැන ය. ඒ නිසාම කඩා ගෙන වැටුනු තුන් කල් තොරණකට හසුව ඇය දැන් දුක් විදින්නේ යයි කියන්නේ රාවය පුවත් පත ය.

කැඩුනු පාදයක් සහිතව ඇයට තමන්ගේ ස්වයං රැකියාව ද කරගැනීමට බැරි තත්වයකට පත්ව ඇතත් ඇයට නිසි පිළිසරණක් තවම ලැබී නැත. පංචායුදයේ සරණ රුපියල් විසි දහසකට තීන්දු වෙද්දී බේත් හේත් ටික ගැනීමට යාමටවත් බැරි තැනකට ඇය පත්ව තිබේ.

මේ අනතුර ගැන පොලීසියේ පැමිණිල්ලක් දැම්මත් වාර්ථා වෙන අන්දමට මෙය ස්වභාවික අනතුරක් බවට ඔවුන් විසින්ම තීන්දු කොට පැමිණිල්ල නිශ්ප්‍රභා කර තිබෙන බවක් පෙනී යයි.

දයානි තේරුම් ගත යුතු කාරණය වන්නේ දෙවියන්ට විරුද්ධ පැමිණිලි පොලීසිය බාර නොගන්නා බව ය. අට්ටාලය කඩා වැටෙන්නේ එය ඉදිකර එකාගේ වරදින් නොව එවන් අටල් පහුරකට අනවශ්‍ය හුලගක් එවූ දෙවියන්ගේ වරදින් ය. ඒ බව තේරුම් ගැනීමට දයානිට දැනුම් තේරුම් මදි ය.

ඇත්තටම ඕනෑ නැති තැන්වලට රිංගන හැමෝම මතක තබා ගත යුතු කාරණය නම් එවන් අවලං වැඩ නිසා තමන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනු ඇති බව ය. ඇත්තටම කර්මයක් පඩිසන් දෙන එක නවත්වන්නට දෙවියන්ටවත් බැරි ය. ඕනෑ නම් ඒ දවස්වල සරත් ෆොන්සේකාට පිරිත් කියූ දැන් වස්කවි කියන හාමුදුරු පරපුරෙන් අසා දැන ගත හැකි ය. ඒ බව තේරුම් ගැනීමට ද දයානිට නම් දැනුම් තේරුම් මදි ය.

අනිත් වැදගත් කාරණය වනුයේ පොලීසියට තියෙන රාජකාරිවල හැටියට මේ අදාළ නොවන පැමිණිලි දමා පොලීසියේ රාජකාරිවලට බාධාකිරිම සම්බන්ධයෙන් වුව දයානිට විරුද්ධව නඩු පැවරිය හැකි බව ය. පහු ගිය දිනක පෝස්ටර් ගැසූ කීප දෙනෙකුට නඩු පවරා තිබුනේ පාර අවහිර කිරීම ගැන ය. එහෙම තත්වයක් යටතේ රාජකාරියට අවහිර කිරීම යන චෝදනාව යටතේ දයානි හිරේ නොදැමිය යුත්තේ ඇයි දැයි දයානි විසින් ම කල්පනා කර බැලි ය යුතු ය. එවන් තත්වයක් යටතේ දයානි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නට ඇත්තේ පොලීසියේ ඇති සංවේදීකමට විය හැකි ය. එහෙම පොලීසියක් ඇතුළු මුරදේවතාවුන් රැසක් අපට ලබා දීම ගැනත් ඒ නම්බුකාර සේවා සියල්ල පඩත්තරයන්ගෙන් මුදා ආරක්ෂා කරදීම ගැනත් රජතුමාටත් ආරක්ෂක ලේකම් වරයාටත් දයානි විසින් පින් දිය යුතු ය.

දයානිට වෙන මේ අනතුර තුන් කල් දැක්මකින් කාට හෝ දැන ගත හැකි වූයේ නම් දයානි මේ අනතුරින් බේරාගන්නට තිබුනේ යයි කාට හරි කිව හැකි ය. තුන් කල් දැක්මෙන් දයානි මේ අනතුරට වැටෙන්නේ යයි සහසුද්දෙන් දැනගත්තේ නම් එයින් දයානිට බේරිය නොහැකි බවවත් එසේ අසන අමනයින්ට තේරෙන්නේ නැත්තේ ඇයි ද යනු අපට ඇති ප්‍රශ්නයයි.

වැස්සක් එන බවවත් පිටිය මඩ වෙන බවත් නොදුටු ඇසකට දයානිගේ අනතුර පෙනෙන්නේ කෙසේ දැයි අතුරු ප්‍රශ්නයක් ද අපට නැගිය හැකි ය. ඒ වුනාට එහෙම ප්‍රශ්න අහන එක මේ වෙලාවේ තේරුමක් නැත. වැස්සක් එන බවවත් දයානිට අනතුරක් වෙන බවත් නොදැන හිටියාට අපේ පංචායුද කුමාරයා මහින්ද රජ වෙන බවත් ජවිපෙට කිසිකලෙක ආණ්ඩුවක් තැනිය නොහැකි බවත් කල් තියා දැන සිටියේය. සමහරවිට පුංචි පුංචි ඒවා තුන්කල් දැක්මට මග හැරෙනවා වෙන්නට බැරි ද?

දයානි වුවමනාවෙන්ම තොරණක් තමන් ලගට වට්ට ගත්තා වෙන්නට බැරි ද? මේ රටේ බොහෝ දේ සිදුවන්නේ එක්කෝ ඉබේ ය. එහෙම නැත්නම් තමන්ම ඉල්ලාගෙන කාලා ය. වගකියන්නට ඕනෑ වැස්ස නොවේ නම් දයානි බව අපට හිතෙන්නේ ඒ අනුව ය.

සිරස වගේ මාධ්‍ය ආයතනයකුත් ඉල්ලං කෑවා නම් දයානි ඉල්ලන් නොකෑවේ යැයි කියන්නට බැරි ය.

දයානි පත්වී ඇති ශෝචනීය තත්වය ගැන හා හෙට තමන්ටත් මෙවැනිම ඉරණමක් අත්ව අසරණවන්නට ඉඩ ඇතැයි සිතා කම්පා වෙන අයට අපට දෙන්නට පුංචි අවවාදයක් ඇත. ඒ අවවාදය අප අසා දැනගත්තේ මහින්ද රාජපක්ෂගේ හරි සීයා වන ජේ ආර් ජයවර්ධනගෙන් ය.

තමන්ගේ ආරස්සාව සළසා ගත යුත්තේ තමා ය.

Posted in: Uncategorized