අපට යුද්ධයක් අවශ්‍ය යි! ඇසෙන කඨෝර හඩ ඒක ය!

Posted on October 27, 2010



ලංකාවේ පශ්චාත් නිදහස් යුගය තුළ යුද රහිත පසුබිමක් තිබුනේ මුල් කාලයේ පමණකි. ඉන්පසු කැරලි හා යුද්ධ ද හදිසිනීතිය ද සාමාන්‍ය ජන ජීවිතය හා බැදුනේ නැවත ගලවා ගන්නට බැරි ලෙස ය. ඉතින් යුද්ධ රහිත වාතාවරණයක් පවත්වා ගැනීමේ අපහසුවක් අපට තිබේ.

සරසවියේ කැකෑරෙමින් ද කකාරවමින් ද එලියට එන්නට හා එලියට ගන්නට දගලන්නේ ඒ රටට අත්‍යවශ්‍ය කැරැලිකාරිත්වය නොවේ ද?

මේ හැම වකවානුවකම ආණ්ඩුවට සමාන උනන්දුවක් කැරලි එලියට ගැනීම සම්බන්ධයෙන් සෙසු පාර්ශවයන්ට ද තිබුනේ ය. ඒ අදහස පළ කළේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවල දායකත්වය ලඝු කොට දක්වන්නට නොවේ.

ඇත්තටම ජනතාව කැරලිවලට මෙහෙවන උත්ප්‍රේරක සැපයූවේ ආණ්ඩුව බව ඇත්ත ය. එහෙත් ප්‍රතිපාර්ශවයන් ද තමන්ට හැකි ලෙස ඉල්ලාගෙන කෑහ. ඒ අතින් බලනවිට මෙය ජාතියේ වැරැද්දකැයි සිතෙන තරම් ය.

කැරලි ඇතිවූයේ ද අතිශයින් ජනප්‍රිය ආණ්ඩුවලට එරෙහිව ය. 2/3 , 5/6 බලය ලැබ ගත් ආණ්ඩුවලට එරෙහිව ය.

ජනතාව ම දී ජනතාව ම උන්ගෙන් ඉල්ලා ගෙන කෑහ.

වන්දිභට්ටකම් කිරීමේ උපරිමය වන්නේ වන්දිභට්ටයාම ඒ සම්බන්ධයෙන් ඉක්මනින් දැඩිලෙස කල කිරීමට පත්වීම ය.

ආණ්ඩුවේ යුද ව්‍යපෘතිය තුළ සරසවි ශිෂ්‍යයා සිටියේ ආණ්ඩුවේ උන්මාදයට ද එහා තැනක ය. ආණ්ඩුවට එරෙහිව අද කැරලි ගහන්නේ ද ඒ උන්මාදය සහිත ශිෂ්‍යයා ය.

බලය හා ගනුදෙනු කරන්නට අප දන්නේ නැත. බලය හික්මවන්නට අප දන්නේ නැත. අප දන්නේ එක්කෝ එය ඉදිරියේ වැද වැටෙන්නට ය. නැත්නම් එයට එරෙහිව කැරලි ගසන්නට ය. එය ආම්බාන් කිරීමේ අපේ දුර්වලකම අප විසින් ඉතාම ප්‍රබලව ප්‍රකාශයට පත් කොට තිබේ.

(ආණ්ඩුව විවේචනය කරන උන්ගෙන් විකල්පය කුමක්දැයි ‍‍බොහෝ අය අසන්නේ ද මේ මානසිකත්වයෙනි. අවශ්‍යව ඇත්තේ සරණ යාම ය. එකක් නැත්නම් අනෙක සරණ යා යුතු ය. එසේ නැතිව විරුද්ධවීමේ කලාව අප දන්නේම නැත.)

එක්කෝ සුදු ය. නැත්නම් කලු ය.

සරසවි‍යේ සමාජ අධ්‍යයන පීඨයන් විසින් පරීක්ෂා ‍කර හේතු සෙවිය යුතුවන්නේ මේ අවාසනාවන්ත තත්වය ගැන ය.

යම් පමණක කැරැල්ලක් නැතිව රට ගෙනියන්නට නොහැකියාවක් පෙන්වන ආණ්ඩුවට මේ කැරලි ගෙන එන්නේ සහනයකි. අප උන්ගේ අවශ්‍යතාවයන් සපුරාලිය යුත්තේ ඇයි දැයි සරසවි ශිෂ්‍යයින් ද තමන්ගෙන් විමසිය යුතු ය.

මෙයින් අදහස් කරන්නේ කරබා ගෙන සිටිය යුතු බව නොවේ. විරෝධය පළ කිරීමේ දී වගකීමෙන් හැසිරිය යුතු බව ද කියන්න ය. සෝඩා බෝතල් ලෙස හැසිරෙන්නේ නැතිව නටන වතුර කේතලයක් ලෙස ක්‍රමයෙන් තම ශක්තිය ගොනු කරගත යුතු බව කියන්න ය.

ඒ සදහා අවශ්‍ය වන්නේ කෑගසනවාට වඩා ඉගෙනීමට යොමුවීම ය. පාඨමාලාව ගැන පමණක් නොව ලෝකය ගැන ද ඉගෙනීම ය. එහෙම සංයමයක් ඇති කර ගත නොහැකි නම් සිදුවිය හැක්කේ අවාසනාවකි. එය උදාවනු ඇත්තේ හැගීම්වලට හා ආවේගයන්ට යටත්ව අනුන් සරණ යාමෙනි.

Posted in: Uncategorized