සරත් ෆොන්සේකා මෙන්ම ඔහුගේ සගයින් ද යුද අපරාධවලට වැරදි කරුවන්!

Posted on October 26, 2010



යුධ අපරාධ සම්බන්ධයෙන් මහජනයාගෙන් පැමිණිලි ලැබෙන්නේ නම් ඒවා පිළිගන්නට සූදානම් බවත් එහෙත් අසතුටට පත්ව සිටින ජාත්‍යන්තර හා උන්ගේ දේශීය ඒජන්තවරුන් ගෙනෙනා චෝදනා පිළිගන්නට තමන් සූදානම් නැති බවත් කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

http://www.dailymirror.lk/index.php/news/7273-govt-ready-to-acknowledge.html

ශ්‍රේෂ්ඨ අදහසක් බවට බැලූ බැල්මට පෙනෙන මේ ගොන් ප්‍රකාශය තුළ ඇති සැගවුනු අරුතක් තිබේ. ඒ ‍මෙසේ ය. අප පිළිගන්නට ලෑස්ති ඒවාත් නැති ඒවාත් තිබේ. ඒ බව අප විනිශ්චය කරන්නේ චෝදනා හැම එකක් පරීක්ෂා කිරීමෙන් නොවේ. කියන පාර්ශවය දෙස බැලීමෙනි. වෙනත් විදිහකට කියන්නේ නම් මේ මොහොතේ ඔවුන් කියන්නේ කුමක්දැයි බැලීමෙනි. ඔවුන්ගේ චෝදනා ගුලිය එල්ල වන්නේ අපේ යුවරජතුමාට ද තරුගැලවූ හිටපු සෙනෙවි තුමාට ද යන්න හොදින් සොයා බැලීමෙනි.

ඒ අනුව ඔවුන් සරත් ෆොන්සේකා හෝ ඔහුගේ ගැන්සියේ අයට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ නම් අප ඒවා බාරගන්නට සූදානම්ය කියන කාරණයට අමතරව අනිත් ඒවා අප ඒ පමණටම යට ගැසීමට ද සූදානම්ය යන්න ද කියවේ.

මේවාට ගමේ මිනිසුන් කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතැයි කියා ය. කෙහෙළියගේ දිව ඇත්ත කියූ අවස්ථා බොහෝමයක් අතීතයේ ද තිබිණි. ඒ ඔහුගේ කට බොරු කියමින් සිටිද්දීම ය.

මේ අනුව යුද අපරාධ පවා පරීක්ෂා කිරීමට ආන්ඩුව දැන් ඉදිරිපත්වුවහොත් ඒ ගැන පුදුම වෙන්නට එපා ය. එහෙත් අප වටහා ගත යුත්තේ එවන් විටක වුව ආන්ඩුව ඉදිරිපත්වනු ඇත්තේ තෝරාගත් ඒවා පමණක් විමසීමට බව ය. ඒ සරත් ෆොන්සේකාගේ හා ඔහුගේ හිතවතු‍න්ගේ ගිණුමට බැර කර අත පිස දා ගත හැකි ඒවා ය.

පේන්නේ සරත් ෆොන්සේකාට කමින් කලර්ස් නෝ ගුඩ් බව ය.

කිසිම යුද විරුවෙකු යවන්නේ නැතැයි කී දණ්ඩනයට යුද අපරාධ යටතේ යෑමට ඔහුට සිදුවිය හැකි බව ය. ඇත්තටම ඔහු යුද විරුවෙකු තබා යුද හමුදාවේවත් නැති එකෙකු නිසා යුද අපරාධ යටතේ ඔහු හිරේට ගියත් ඔහු එසේ යන්නේ යුද විරුවෙකු වශයෙන් නොවන නිසා එතැන එහෙමට කියන්නට තරම් පරස්පරයකුත් නැත.

Posted in: Uncategorized