ජාත්‍යන්තරයට පස්ස පෙන්නීම

Posted on October 25, 2010



අනුන්ගේ මගුල් හා දාන ගෙවල්වලදී තමන්ගේ අයට හිතේ හැටියට බෙදනා පුරුද්දක් ලංකාවේ බොහෝ දෙනෙකුට තිබේ. කෙසේ වුව ද මගුල් හෝ දාන ගෙවල්වල ගෙහිමියන්ගේ තීන්දුවලට පටහැනිව ගිහින් ඒවාට මායිම් නොකර බලහාත්කාරයෙන් බෙදන්නට ඉදිරිපත් වන්නන් ඒතරමටම නැත. එහෙත් ඉදිරියේදී තත්වය වෙනස් විය හැකිය. මගුල්ගෙදර මනමාලිට හා මනමාලයාට වෙන්කරන ලද දේ පමණක් නොව දානෙ ගෙදර සංඝික කරන ලද දේද තමන්ගේ හිතූ මනාපයට අයිතිකරුවන්ගේ විරුද්ධත්වය පවා නොතකා තමන්ගේ හිතවතුන්ටම බෙදන්නට දැන් පටන් ගෙන තිබේ.

එය ඊයේ පෙරේදා වාර්ථාවූයේ වවුනියාවෙනි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් බෙදීමට ගෙනත් දුන් ට්‍රැක්ටර් තොගයක් රතු කුරුස සංවිධානයේ ලයිස්තුවෙන් පිට තමන්ට වුවමනා අයවලුන්හට බලහාත්කාරයෙන් බෙදා දීමට ඇමතිවරයෙක් විසින් කටයුතු කර ඇත.

මේ අකටයුත්ත ඉවසා ගත නොහැකිව එම කටයුතු වලින් ඉවත්ව තම ශෝකය පිට කිරීම සදහා අඩා වැලපීමට රතු කුරුස සංවිධානයේ ප්‍රධානී මායේස් ලිමොනාර් මැතිණියට සිදුව තිබේ. ඇය අඩනු ටයිම්ස් පුවත්පතේ ඡයාරූප ශිල්පියා විසින් පින්තූරයට නගා තිබුනේ මෙසේ ය.

උන්ගේ සල්ලි විය හැකි ය. උන්ගේ උත්සවය විය හැකි ය. ඒත් බෙදන්නේ අප ය. අපට ඕනෑ හැටියට ය. ඒ මේ ඇමතිතුමා පමණක් නොව මුලු රජයත් අප අතර ඉන්නා බොහෝ අයත් සිතන විදිහ ය.

ඒ මේ ලංකාව නිසා ය. ජාත්‍යන්තරය තවමත් ඉගෙන ගෙන නැත්නම් ඉගෙන ගන්නට මේ කටයුත්තම හොදටම ඇති ය.

රටට සුභ අනාගතයක් හිමියයි අප කියන්නේ නිකම්ම නොවේ. මේවා දකින කොට ඒක ඉබේම පේන නිසා ය.

තවමත් හීන දකින අයට මේ ඇහැරෙන්නට වේලාවයි. නැත්නම් උන්ට සිදුවනු ඇත්තේ නැගිට්ට දවසක තමන්ටම ඇන ඇනගෙන යන්න ය.

ඒත් ඒ වනවිට ද උන් සතුව හෘද සාක්ෂියක් ඉතිරිව තිබුනොත් ය. එයත් සංවේදී නායකයාටම බදු දී ඇත්නම් එයින්ද උන් ගොඩ ය. අවසානයේ දී රිස්ස යනු ඇත්තේ මේ සියලු අමනකම් නිසා අප රටට අත්වන ව්‍යාසනයේ බර උසුලන්නට වෙන අපගේ ය.

Advertisements
Posted in: Uncategorized