පෝය දින පොලිස් පරීක්ෂාව

Posted on October 24, 2010



පෝය දින උදේ පාන්දර 3 සිට ගෙවල්වල වැසියන් කූද්දමින් පානදුරේ සිට ගල්කිස්ස දක්වා කරන්නට යෙදුනු පොලිස් පරීක්ෂාව ගැන සමහරු නිස්කාරණේ මැසිවිලි නගති. රට දියුණු කරන්නට පොලීසියත් ආණ්ඩුව සමග එක්ව නිදිමරාගෙන මහන්සිවන අල්ල පනල්ලේ මහ රෑ තමන්ගේ නින්ද කැඩීම නිසා උරණව මේ දෙපාර්ශවයට දොස්කීම වැරදි ය.

සමහරු දොස් කියන්නේ මෙසේ පාන්දර ගෙවල්වලට පොලීසිය පැමිණීමෙන් දෙන සම්ප්‍රදාය ‍ඔස්සේ වෙස්වලාගත් හොරුන්ටත් ඔය විදිහට අපි පොලීසියෙන් දොර ඇරපල්ලා යයි කියාගෙන පැමිණිය හැකි බව පෙන්වමිනි. හොරෙක් දෙන්නෙක් තමන්ගේ බඩ රස්සාව කරගත්තාම මක්වෙනවාදැයි යන්න අපට එවන් අයගෙන් ඇසීමට ඇති ප්‍රශ්නයයි. අනිත් අයට තම තමන්ගේ රස්සාව කරගැනීමට ඇති ඉඩ හොරුන්ටත් තිබිය යුතු නැත්ද? අප එසේ නොකර ප්‍රජාතන්ත්‍රවාදය තරු පහේ මට්ටමට පවත්වාගන්නේ කෙසේ ද?

සමහරු දොස් කියන්නේ පෝය දිනයක මෙය කිරීම ගැන ය. වැඩි හරියක් හොරු සිල්ගන්නට සෙට් වෙන්නේ පෝය දවසට ය. ඒ නිසා එදාම තෝරාගැනීම ගැන පොලීසියට දොස් කිව හැකි ද?

පොලීසිය මේ කඩා පැනීම්වලදී වැඩිපුර සල්ලි ඇති අය ද අල්ලා ගෙන ඇත. ඒ ඒ සල්ලි මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් බවට චෝදනා කරමිනි. මේ ගැන කියන සමහරු පෙන්වා දෙන්නේ සල්ලි අතපත ගෑමට අල්මාරිවලට අත පෙවීමටත් පොලීසියට අයිතියක් ඇත්ද කියා ය. සල්ලි අල්ලන්නට අයිතිය ඇත්තේ තොපිට පමණක් දැයි අපි උන්ගෙන් අසන්නෙමු.

යන විදිහ හොද ය. ආශික් ය. පාන්දර කවදාවත් නැගිට නැති අපට මේ නිසා උදේ හිරු උදාවෙනවා දැක ගැනීමට හැකිවුනේ ය. බෙහෙතකටවත් ගන්නට අපේ ගෙවල්වල සල්ලි නැති නිසා අපිට නම් සල්ලි හැංගූ තැන් බැලුවාට කමක් නැත. සල්ලි කාරයින්ට හොද වැඩේ ය.

කවුරු කවුරුත් කේන්දරේ බලා ගන්න එක හොද ය. නැති මත්ද්‍රව්‍යයක් ගෙයින් මතුවී පැමිණිල්ල කටුගා දමන්නට සල්ලි ටිකක් වියදම් කරන්නට ඉදිරියේ දී සිද්ධ විය හැකි දැයි දැන ගනු පිණිස ය. වැඩිපුරමත් එහෙම වනු ඇත්තේ සල්ලි නැති එහෙත් තියෙනවා යයි ලෝකෙටම පෙන්වා ගෙන ඉන්නා අයට ය. උන්ට හොද වැඩේ ය. උන්ට සරත් ෆොන්සේකා මුණ ගැහීමට මේ නිසා අවස්ථාව ලැබෙනු ඇත්තේ ය. අප එයින්ද බේරෙන්නේ ය. මක්නිසා ද යත් සල්ලි නැතිවා විතරක් නොව නැති බව ද අපේ කඩමාලු දිහා බැලුවහම පේන නිසා ය.

ඒ නිසා අපි නම් ඔය කොයිකෙනුත් බේරිලා ය. මේ කා‍ලයේ හැටියට අප බේරිලා හිටියොත් හොදටම ඇති ය.

Posted in: Uncategorized