විදේශීය දේට 10% ක් දේශීය දේ එකතු කර දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම

Posted on October 22, 2010



පාන්පිටි ත්‍රස්තවාදයට එරෙහිව හාල් පිටි මෙහෙයුමක් දියත් කරමින් විදේශ බලවේග පරාජය කරමින් දේශීය ආර්ථිකයක් ගොඩ නගා ගැනීම සදහා ආණ්ඩුව දක්වන උත්සහයට අපත් යමක් කළයුතු යැයි අපට සිතුනේ ය.

විදින දුක ගැන හටගත් අනුකම්පාවත් අරමුණ ගැන ඇති වූ ශ්‍රද්ධාවත් නිසා ය.

පාන් අධිරාජ්‍යවාදී ‍වන තරමටත් වඩා ක්‍රිකට් අධිරාජ්‍යවාදී ය. පාන් අත්අරින්නට අමාරු නිසා 10% ක් පිටිත් කළවම් කර දේශීය කරගන්නට ගන්නා උත්සහයට සමාන උත්සහයක් ක්‍රිකට් සම්බන්ධයෙන් ද දැරිය යුතු යැයි අපට සිතුනේ ක්‍රිකට් ද පාන්වලටත් වඩා අත්හැ‍රිය නොහැකි දෙයක් යයි කල්පනාවට ආ නිසා ය. ක්‍රිකට් ක්‍රීඩාවට චක්ගුඩු ක්‍රීඩාවෙන් 10% ක් මිශ්‍ර කළොත් ඒකටත් දේශීය මුහුණුවරක් දිය හැකි ය

පාන් පිටිවලට 10% ක් හාල් පිටි එකතු කරාට හාල් නිශ්පාදනයට එයින් සැළකිය යුතු වාසියක් නාවත් එයින් පාන්පිටිවලට දේශීය මුහුණුවරක් ලැබෙනවා සේ ක්‍රිකට්වලට ද එසේ දේශීය මුහුණුවරක් ලැබෙනු ඇතැයි අපට විශ්වාස ය.

මේ ආකාරයට කෝකාකෝලාවලට 10% ක් කොත්තමල්ලි වතුර ද පිටරට තෙල් වලට 10% ක් පොල්තෙල් ද එක් කළ හැකි ය.මෙසේ විදේශීය හැම එකකටම දේශීය 10% ක් එක් කළහැකි නම් දේශීය ආර්ථිකයම එකවර 10% කින් නගින්නේ ය.

ඊට සමාන්තරව අපේ ආතල් එක ද 10% කින් වැඩිවෙනු ඇත්තේ ය.

ආසියාවේ ආශ්චර්යය වෙන විදිහකට ඇති කළ නොහැකි නම් මේ විදිහත් හොදයයි අපට හිතුනේ ඒ නිසා ය.

බොහෝ දෙනෙකු අපට බනින්නේ විවේචනය කරනවා විනා හරවත් දෙයක් යෝජනා කිරීම මගින් සාධනීය මැදිහත් කිරීමක් නොකිරීම ගැන ය. අපගේ ඔලුවට මෙතෙක් ආ යෝජනා බොහෝමයක් විදේශීය ඌරුවක් ගත් නිසා කියන්නට මොකද්ද වගේ දැනුනේ ය. මේක නම් එහෙම විචිකිච්ඡාවක් නැතිව කිව හැකි නිසා අවසානයේ ආකිමිඩිස්ට ඇති වූ ප්‍රීතිය අපටද ඇතිවුනේ ය. එසේ වුව ද හෙලුවැල්ලෙන් දුවන අය බොහෝ ඉන්නා නිසා ආකිමිඩිස් කළාක් මෙන් දුවන්නේ නැතිව මෙසේ ලියා තැබුවෙමු.

දැන්වත් විශ්වාසයට ගන්න. අප දේශප්‍රේමී ය.

Advertisements
Posted in: Uncategorized