සරසවි සිසුන් හූ නොකියා ඉදීවි ද?

Posted on October 21, 2010



අලුතින් පාට කරන ලද පරණ නේවාසිකාගාරයක් හා වසර 10ට උඩදී ආරම්භ කරන ලද පරිගනක මධ්‍යස්ථානයක් විවෘත කිරිමට පැමිණි එස් බී දිසානායක ඇමතිතුමා සරසවි සිසුන්ගේ හූ පාරට ලක්ව තිබේ.

මේ නම් හූ කියන්නට වටින වැඩකි. මෙහෙම දෙයක් කරලාවත් හූ නොකිව්වොත් උන් කොල්ලන් නොවෙති.

ඒත් උන්ට සමාවක් ලැබුනේ නැත. ඒ වෙනුවට උන් කුදලාගෙන පොලීසියට දක්වා ඉනුත් නොනැවතී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් ලක් කරන ලද්දේ ය.

හූ කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඒ නිසාදෝ කුදලාගෙන ගොස් නඩු දමා තිබෙන්නේ ඒ චෝදනාව යටතේ නොවේ. නවකවද චෝදනාවක් යටතේ ය.

ඉතින් මේ කන්නේ ඉල්ලාගෙන නොවේ ද?

අන්තරය පිස්සු කෙළින බවත් ජවිපෙ ආන්ඩුව සමග බේරාගන්නට තිබෙන ගනුදෙනුව සදහා සිසුන් මෙහෙයවන බවත් පිටට පෙනෙන්නට හරින කාරණා ය.

එහෙත් මේ පිටුපස ඇත්තේ මුග්ධත්වය ඉවසිය නොහැකි තරුණ පරපුරේ හිත් වේදනාව ය. එය දොරේ ගලන්නට සලස්වා උන්ගෙන් පළි ගැනීම නම් දරුණු අපරාධයකි. දරුවන් ඉන්න දෙමාපියන්ට නම් ඉවසිය නොහැකි කාරණයකි.

අනෙත් අතට සිය දේශපාලන ව්‍යාප්තිය වෙනුවෙන් සිසුන් බිලි බා ගැනීමට දගලන අන්තරයට හා ජවිපෙට ඉණිමං බදින්නකි.

දැන් දරුවන්ගේ වගකීම් ද අතහැර දමා සිටින නිසා අහක බලාගෙන රූපවාහිනිය බලා නිදාගන්නා එක බොහෝ දෙමාපියන් පවා පුරුද්දට වගේ කරති. එහෙම කාලෙක මීට වඩා දෙයක් ජනතාවගෙන් අපේක්ෂා කරන්නට බැරි ය.

ඒ නිසා හු කිව්වේ එස්බීට වුව ද හූව රටේ බොහෝ දෙනෙකුට ද වැදෙන්නට ඇත්තේ ය. කොල්ලන්ට අනුකම්පාවක් නැතිව ගියේ ඒ නිසා විය යුතු ය.

රටේ මැදිහත්වීමක් නැති තැන උන් ජවිපෙ හා අන්තරයේ සරණ යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට අමතරව සිවිල් සංවිධාන හා පළල් සමාජය ද වගකිව යුතු ය. ඒ සරසවි සිසුන් ඔලුවට වඩා ඉදිරියෙන් හදවත වැඩකරන වයසක ද සිටින බැවිනි. උන්ට නිවැරදි මග මේ යැයි පෙන්වා දීමට සුදුසු නායකත්වයක් නැති බැවිනි.

Advertisements
Posted in: Uncategorized