පොලීසිය ගැන රජුගේ උදහස සාධාරණ ද?

Posted on October 18, 2010



සමහර පොලීසි තිබුනාට අවුරුද්දටම අල්ලා ඇත්තේ සුරුට්ටුවක් පමණකැයි රජතුමා සෝපාහාසයෙන් කිව්වේ දකුණු පළාත් සභා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය.

තමන්ට සළකන ආයතතනයකට ඔහොම කියන එක කළ ගුණ දත් නායකයෙකුට තරම් නොවන්නේ ය. පොලීසියට තියෙන රාජකාරී දන්නේ පොලීසියේ වැඩ කරන අය පමණකි.

ආණ්ඩු විරෝධී පෝස්ටර් ගහන ඒවා අල්ලන්නට ඕනෑ ය. ආණ්ඩු විරෝධීන්ට නඩු ගොනු කරන්නට ඕනෑ ය. ඒ සදහා ආයුධ ගෙන ගොස් උන්ගේ ආරාමවල නිවෙස්වල හංගන්නට ඕනෑ ය. නැත්නම් ගෑනු හොයා ගෙන පැමිණිලි ලියා ගන්නට ඕනැ ය.

මැතිවරණ කාලයේදී නම් විරුද්ධ පක්ෂයේ කටඅවුට් පෝස්ටර් ගහන පරක්කුවෙන් ගලවන්නට ඕනෑ ය. විරුද්ධ පක්ෂයේ රැස්වීම්වලට බාධාකරන්නට මොනයම් හෝ උප්පරවැට්ටියක් හොයා ගන්නට දත කන්නට ඕනෑ ය.

මදාවියන් ලවා ආයුධ පෙන්වන්නට එක්කර ගෙන ගොස් උන් පැන යන කල වෙඩි තියන්නට ඕනෑ ය. පෙම් කෙළින ජෝඩු අල්ලාන ගොස් දෙමාපියන්ට බාර දෙන්නට ඕනෑ ය.

නාට්‍යයක දුම් බොන අරක්කු බොන ජවනිකා තිබේදැයි පරීක්ෂා කිරීමට නාට්‍ය ශාලාවලට ගොඩ වෙන්නට ඕනෑ ය.

සරසවිවල කචල් ඉල්ලා දාගන්නා උපකුලපතිවරු බේරා ගන්නට යන්න ඕනෑ ය. සරසවි ශිෂ්‍යාවන්ගේ කන්‍යභාවය පරීක්ෂාකර බැලීමට උන් ආරෝග්‍යශාලාවලට පිටත් කර හරින්නට ඕනෑ ය.

දේශපාලනඥයින් යන එන තැන්වල තනි රකින්නට යන්න ඕනෑ ය. එහෙම යන මංමාවත්වල වාහන නවත්වන්නට ඕනෑ ය. මිනිසුන් තාප්ප පැත්තට හරවා කානුවලට බස්සන්නට ඕනෑ ය.

තමන්ගේම හොර ගෑණුන්ට හා ළමයින්ට පාට් දාන කොල්ලන් අල්ලා එලොව පොල් පෙන්නන්නට ඕනෑ ය.

දේශපාලනඥයින්ගේ ගෝල බාලයන් තමන් අල්ලා ගත් අපරාධකාරයින් අතර ඉන්නවාදැයි සැක හැර දැන උන් නිදහස් කරන්නට ඕනෑ ය.

මේ සියල්ල පොලීසියේ සාමාන්‍ය රාජකාරිවලට අමතරව ය.

ඇත්තටම පුදුමය නම් එහෙම පොලීසියකට සුරුට්ටුවක් හෝ හොයාගන්නට පුලුවන් වීම ය.

Posted in: Uncategorized