පාන්පිටි ත්‍රස්තවාදයට එරෙහි හාල් පිටි මෙහෙයුම!

Posted on October 14, 2010



ආණ්ඩුව කරන කියන හැම දෙයක්ම වැරදි නැත. ඇත්තටම අතිශයින් වැනිය යුතු කටයුතු ද ඒ අතර වෙයි. මේ එවැන්නකි.

කමිටුවක් පත් කර තිබේ. ඒ සියලු බේකරි නිශ්පාදනවලට අනිවාර්යයෙන් හාල්පිටි 10% ක් ද එකතු කරනු පිණිස වග බලා ගන්නේ කෙසේ දැයි යෝජනා කරන්න ය.

අදහස හොද ය. මින්මත්තට හාල්පිටි කේක් ද හාල්පිටි පීසා ද කන්නට ජනතාවට වරම් ලැබෙනු ඇත්තේ ය. මේවා අසන අපේ ආතල් උතුරා යන්නෝය (බහුවචනයෙන් කීවේ ආතල් එක ගෞරවාර්යෙහි සළකා මිසක අපට සිංහල ව්‍යාකරණ බැරිනිසා නොවේ).

(ඇත්තටම කොණ්ඩේ කපා ඩෙනිම් ඇද පස්ස නටවමින් පාරේ යන ගමන් අප බයියන් යයි සළකා රවන පාට් දාන සංකර කෙල්ලන්ට හාල්පිටි ගිල්ලවා පාඩමක් උගන්වන්නට ලැබීමම ලොකු දෙයකි. උන්ගේ ඩෙනිම් ගලවා ඩීසන් ඇදුමක් අන්දවන දවස එනතුරු අපි ඇගිලි ගනිමින් සිටින අතර හෙල උරුමය හෝ ජානිපෙ යන දෙකින් එකක් ඉදිරිපත්ව එදවස ද ළගදී උදාකර දෙනු ඇතැයි අපේ පැතුම ය. හිටපල්ල උඹලට! අධිරාජ්‍ය විරෝධී අරගලය හැබෑ ලෙස මුවහත් කළ හැක්කේ පාන්පිටි වලින් නොනැවතී  ඉතිරි ටිකට ද වාරණය දැමීම මගිනි. රට යන අත හොද ය. මෙහෙම ගියොත් වැඩි කල් නොයවා මේ වැඩේටත් ඉඩ හදා ගත හැකි ය.)

පාන්පිටි ත්‍රස්තවාදයට මෙසේ අවසන් ඇණය ද ගහන්නට ආණ්ඩුව සැරසෙන මේ මොහොතේ අපේ සියුම් අනාගත අපේක්ෂා ටික පොඩ්ඩක් පැත්තකින් තබා මේ අගනා වැඩේට අපේ නොවටිනා අදහස් ටිකක් ද එකතු කිරිමට සිතුවෙමු.

එක කළෙක බත් කෑමට තහනම් දින දෙකක් සතියකට තිබුනේ ය. පාන්පිටි සහිත ආහාර වැළදීම තහනම් වන දින කීපයක් වැඩ පිළිවෙලට එකතු කරොත් නම් ත්‍රස්තවිරෝධී වැඩපිළිවෙල නැගලා යන එක වළක්වන්නට බැරි ය. අතීත සම්ප්‍රදායක් තිබෙන බැවින් වැඩේ අමාරු වෙන එකක් නැත.

හැම පාන්පිටි ගෝනියකටම හාල් පිටි 10% එකතු කරොත් වැඩේ ඉවර ය. එතකොට ඔය පත් කරන කමිටුවට හෝ ඒ කමිටුව විසින් නම් කරන නියෝජිතයින්ට බේකරිවල පාන්දර රස්තියාදු වෙමින් 10% ක් හාල්පිටි දමනවාදැයි බලන්නට වෙන්නේ නැත. කෙළින්ම ‍පිටි මෝල් පරීක්ෂා කරහම ඇති ය.

තවත් වැඩක් තිබේ. පාන් ගෙඩියක් මිලදී ගත හැක්කේ හාල් කි 1ක් ගන්නා අයට පමණකැයි නීති සම්පාදනය කිරිමට ය. ගෙදර එකතුවන හාල්වලට කරන්නට දෙයක් නැති නිසා එතකොට වත් මිනිසුන් බත් කන්නට පුලුවන.

තහනම් කිරීමත් අනිවාර්ය කිරීමත් එකසේ නැගලා යන කාරණා ය. ඒ දෙකම නිසා මිනිසුන් ආම්බාන් කර ගැනීමට ලෙහෙසි වන්නේ ය. වැඩි වියදමක් යන්නේ ද නැත. ආතල් එක ද වැඩි ය.

(බොන්නේ මොනවාද කන්නේ මොනවාද බලන්නේ මොනවාද කරන්නේ මොනවාද කියා හැම දෙයක්ම මේ විදිහට පාලනය කරන්නට හැකි නම් ආශ්චර්ය අත ළග ය. වෙන මුකුත් කරන්නට ඕනෑ නැත.)

මේ සියල්ල කරලාත් බැරිවුනොත් වන්නේ පාන්පිටි ආනයනය මුළුමනින්ම තහනම් කිරීම ය. ඇත්තටම දේශද්‍රෝහී සිතුවිලි පහල වන්නේ පාන් පිටි කෑම නිසා ය. දේශිය අල බතල පමණක් වළදන අය සාකල්‍යයෙන්ම දේශප්‍රේමී ය.

එහෙම බැලුවහම සියලුම ආනයනික වර්ග තහනම් කිරිම ගැන වුව සළකා බැලිය හැකි ය.

අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක සියලු ලක්ෂණ දැන් අප විසින් පහල කරමින් තියෙන්නේ ය. පාන්පිටි ත්‍රස්තවාදයට විරුද්ධව ගෙන යන මේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී අරගලය නිසා ඇමරිකාවට තද වී අප රටට විරුද්ධව කුමන්ත්‍රණයන් දියත් කිරීමට ඉඩ තිබේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට කැමති අය පදවි ප්‍රාප්ති දවසේ ඒ සදහා සූදානම්ව සිටීම යෙහෙකි ය.

ඔබ හැමට බතින් සහලින් පිරුණු සුභ අනාගතයක්!

(නරක්වෙල තියෙයි කොල්ලො!)

Posted in: Uncategorized