මිනිසුන් කලු ද සුදු ද?

Posted on October 13, 2010



සමහරුන්ගේ ඔලුවේ ඇති මැෂින් වැඩ කරන්නේ පරිගනක වගේ ය.

පරිගනකයක ඇත්තේ සරල තර්කනයකි. බල්බයක් එක්කෝ දැල්වේ. නැතිනම් නොදැල්වේ. ඒක හරියට එක්කෝ සුදු ය නැත්නම් කලු ය යන තර්කය වගේම ය. සියලු සංකීර්ණ තර්ක ගොඩ නගන්නේ මේ සරල බෙදීම හරහා ය.

ඒ නිසා එවැනි ඔලු ඇති මිනිසුන් තමන් තෝරාගත් එක් කෝදුවකින් අන් මිනිසුන් මැන කළු හෝ සුදු ලෙස වර්ග කිරීමට කැමති ය.

එවිට ඔවුන්ගේ පරිගනක ඔලුවලට ජීවිතය සම්බන්ධයෙන් තීන්දු ගැනීම පහසු ය. මිනිසුන් සුදු නම් ඔවුන් අගැයීමත් මිනිසුන් කළු නම් ඔවුන්ට ගැරහීමත් එවිට හිතේ හැටියට කළ හැකි ය. කබර ගොයා තල ගොයා වීම වළක්වා ගත හැක්කේ එවැනි කළු සුදු බෙදීමකින් ය. ඒ පැහැදිලි බෙදීම නැතිව ඔවුන්ට ජීවිතය අවුලකි.

අප දන්නා මිනිසුන් සැවොම අලු ය. එයින් අදහස් කරන්නේ උන් බොහෝමයක් තුළ  සුදු ද කළු ද තිබෙන බව ය. බොහෝ සාන්තුවරයන් මෙන් පෙනෙන මිනිසුන් ලගින් ඇසුරු කළ විට උන්ගේ සීමාවන් කුහකකම් අදුනාගත හැකි අතර අපරාධ කාරයින් ලෙස සමාජය විසින් ලේබල් අලවා ඉවත් කර ඇති මිනිසුන් තුළ උගත් මිනිසුන් තුළ දැකිය නොහැකි උසස් ගුණාංග තිබෙන බව ද අපි දැක ඇත්තෙමු. ඒ නිසා අපි වඩාත් කැමති මිනිසුන් අලුපාටේ විවිධ හැඩ තලවලින් දැකීමට ය.

එවිට පරමාදර්ශ සෙවීමේ ගැටලුවක් නැතිවම මිනිසුන්ගේ ඉතිහාසය හාරා අවුස්සා ඒ මත නහින්නේ නැතිවම මිනිසුන්ගේ යම් ක්‍රියාකාරකම්වලට එකගත්වයත් ඉතිරි ඒවාට අපුලත් පළ කළ හැකි ය.

එවිට සරත් ෆොන්සේකාගේ අතීතය අභිමුඛ කරගන්නේ නැතිව සරත් ෆොන්සේකාගේ වර්තමාන භූමිකාව සමග ගනුදෙනු කළ හැකි ය. එවිට සෝභිත හිමියන්ගේ කැරැට්ටුව ගැන කම්පා නොවී එහිමියන් ඊයේ පෙරේදා නැගූ හඩට අත්පොලසන් දිය හැකි ය.

මහින්දගේ වැරදි මුලිච්චි කර නොගෙන මහින්ද විසින් කාලිඅම්මාන් කෝවිල අභියස සිදුවන්නට ගිය යුද්ධය වැළැක්වීම ගැන අගැයිය හැකි ය. හෙට මහින්දගේ ආණ්ඩුව කවර බලපෑමක් යටතේ හෝ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය වෙනුවෙන් බලය විමධ්‍යගත කරන යෝජනාවලියක් ගෙන එන්නේ නම් මහින්දගේ තිරශ්චීන යුද්ධය මුලිච්චි නොකරගෙන ඊට සහය පළ කළ හැකි ය.

ජේආර් බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවලිය ගෙනා විට තමන් නක්සලයිට් කාරයෙකැයි කියමින් හිරේ දැමීම ප්‍රශ්නයක් කර නොගෙන ආණ්ඩුව වෙනුවෙන් විජයට පෙනී සිටින්නට හැකි වුනේ ඒ නිසා ය.

ඒ වුනාට සමහරුන්ට එසේ බැරි ය. ඒ තලගොයාට කබරගොයා මාරු වෙතැයි උන් බියෙන් පෙළෙන නිසා ය.

පූජකයින්ට දේශපාලනය කැප ද අකැප ද යන්නට ද ඔවුන්ට කෙළින් උත්තර ඕනැ ය. එක්කෝ කැප ය. නැත්නම් අකැප ය. එක්කො සුදු ය. එක්කො කළු ය. ඒ දෙක මැද්දේ උත්තර උන්ට අරහං ය.

Posted in: Uncategorized