පූජකයින්ට දේශපාලනය කැප ද?

Posted on October 12, 2010



මේ ප්‍රශ්නය පැන නගින්නේ සෝභිත හිමියන් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටිමත් සමග ය.

මේ ප්‍රශ්නයට උත්තර දෙකක් තිබේ.

එකක් ඉතා පැහැදිලි ‘ඔව්’ යන්නකි. පූජකයින් ජීවත්වන්නේ ද මේ සමාජ දේශපාලන රටාව තුළ ය. එහෙම නම් ඔවුන්ගේ හඩට ද එහි ඉඩක් තිබිය යුතු ය. තමන්ගේ සුවිශේෂී අපේක්ෂාවන් හා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සදහා ද තමන්ටත් ලාභ ප්‍රයෝජන ලැබෙන රටේ පොදු උන්නතිය සදහා ද තින්දු තීරණ ගැනීමේ දී මැදිහත්විමේ ඉඩ ඔවුන්ටත්  තිබිය යුතු ය.

එය රටේ නීතියෙන් ද ආරක්ෂා කර ඇති මානව හිමිකමකි.

දෙවැන්න ‘නැත’ යන්න ය. බොහෝ ආගම්වලට අනුව පූජකයෙක් වන කෙනෙක් ඒ ආගම පෙන්වන විමුක්ති මාවතේ යා යුතු ය. ඊට අමතරව සිය ශ්‍රාවකයින්ට ඒ මාවත පෙන්වා දිය යුතු ය. ඒ මාවතේ යාමට උපදෙස් දිය යුතු ය. ඒ වෙනුවට දේශපාල‍නය තෝරාගැනීම තුළ ඔහුට තම පූජක භූමිකාව පාවා දීමට සිදුවන්නේ ය. නැතිනම් පූජක භූමිකාවට ඉඩ දෙනු සදහා රටේ දෛනික කටයුතු අවුල් කිරීමට සිදුවන්නේ ය. එයින් අදහස් කරන්නේ එක්කෝ ඔහුට ද්විත්ව රංගනයක යෙදෙන්නට සිදුවන බව ය. නැතිනම් එක් භූමිකාවක් අනෙකට සතුරුවන මොහොතක ඔහුට ඉන් එකක් අත්හැරීමට සිදුවන බව ය. මෙය පැහැදිලි කර ගැනීමට උදාහරණයක් ගෙන බලමු.

සතුන් මැරීම සමහර ආගමික ඉගැන්වීම්වලට අනුව වැරදි ය. එහෙත් රටේ මස් පිණිස සතුන් මැරීම සිදුවෙයි. ඒ ගැන අණ පනත් පැනවෙයි. මැතිසබයට යන හිමිනමකට මේ පනතකට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේදී උභතෝකෝටියකට මුහුණ දීමට සිදුවෙයි. සතුන් මැරීම නීති විරෝධී කිරීමෙන් ආගමික මතයට එකග වෙනවාද නැතිනම් එය නීත්‍යානුකූල කිරීමෙන් ආගමික මතයට පිටුදකිනවා ද යන්න ය.

ආගමික මතයට එකග වීමෙන් රටේ බහුතරයකට පෝෂ්‍ය දායක රසවත් ආහාර වේලක් ලාභයට වැළදීමේ ඉඩකඩ අහිමිවන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහතික කිරීම සදහා සතුන් මැරිමට ඉඩ දුනහොත් එයින් ආගමික ඉගැන්වීම්වලට පිටුපාන්නට පූජකවරයාට සිදුවේ.

ද්විත්ව භූමිකාවක් රගන විට වැඩේ අමාරුවන්නේ එලෙස ය.

‘ඔව්’ යන උත්තරය අප දෙන්නේ පුරවැසියා කියන අස්ථානයේ සිට ය. ‘නැත’ යන උත්තරය ලැබෙන්නේ ආගමික අස්ථානයක සිට ය.

මෙයින් පෙනෙන්නේ පූජකවරුන්ට දේශපාලනය අකැප නොවුනත් පූර්ණකාලීන දේශපාලනඥයන් විය නොහැකි බව ය. එසේ විය හැක්කේ තමන්ගේ පූජක භූමිකාව කැප කිරීමෙන් පමණක් බව ය.

චීවරධාරීන්ද ඇතුළු පූජකවරුන් දේශපාලනයට මැදිහත්වීම ගැන අපේ මතය එයයි. එය හෙළ උරුමයේ භික්ෂූන්ටත් මාදුළුවාවේ සෝභිත හිමියන්ටත් වෙනත් ආගමික පූජකයින්ටත් එකසේ අදාළ ය.

ඔවුන් දේශපාලන ප්‍රශ්න ගැන තම මතය පළ කළාට කමක් නැත. එහෙත් තම ආගමික ඇදහීම් රටේ දේශපාලනය තීරණය කිරීමේලා භාවිතා කරන ලෙසට බලකිරීමවත් ඒවා එසේ වනබවට සහතික කරනු සදහා පූ‍ර්ණ කාලීන දේශපාලනයේ යෙදීමවත් අප අනුමත කරන්නේ නැත.

ඒ එවැන්නක් ආගමික ආරවුල්වලට මග පාදන නිසා ය.

ආගම හා රාජ්‍ය පාලනය පටලවා ගත යුතු නැතැයි අප දකින්නේ ද ඒ නිසා ය.

සමහර අයට මෙසේ එක් පැත්තකින් ආගම හා රාජ්‍ය පාලනය පටලවා ‍නොගත යුතු යැයි කියන ගමන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ රාජ්‍ය විරෝධී දේශපාලන උද්ඝෝෂණය අනුමත කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ හැකි ය.

මාදුළුවාවේ හිමිගේ ක්‍රියාව දේශපාලන මතයක් ප්‍රකාශ කිරිමක් බවත් එය දේශපාලන ජීවිතයකට ඇතුළත්වීමට මෙහා බවත් තේරුම්ගන්නට හැකි නම් ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ නැත.

ඒත් ප්‍රශ්නය නැගු‍වේ සැක ඇති තැනක ය. ඒ නිසාම ප්‍රශ්නය නැගිය යුතු තැනක ය. එයින් අපේ අස්ථානය වඩා හොදින් පැහැදිලි කරන්නට අපට ඉඩ ලැබුනේ ය. ඒ නිසා එසේ සැක කිරීම ගැන ඔවුන්ට ස්තුති කළ යුතු ය. ඒ පොදු අදහස කලින් සටහනට ප්‍රතිචාරයක් ලෙස අප වෙත යොමු කළ ටැබූට ලබා දුන් අවස්ථාව ගැන විශේෂයෙන් ස්තුති කළ යුතු ය.

Posted in: Uncategorized