2010-10-10 අපට සුවිශේෂී ය

Posted on October 10, 2010



අද 2010-10-10 දා ය.

මේ දිනය අපට සුවිශේෂි වෙයි. ඒ අප අංක විජ්ජාව විශ්වාස කරන නිසා නොවේ. අප මෙම අඩවිය පටන්ගෙන අදට හරියටම වසර දෙකක් ගෙවෙන නිසා ය.

වසර දෙකක් යනු පුංචි කාලයක් නොවේ. විශේෂයෙන් ඒ වසර දෙක තුළ දිනපතාම පාහේ ලියූ නිසාම එය ලොකු කාලයක් ලෙස දැනේ. ඒ නිසා මේ අඩවිය එසේ අඛණ්ඩව පවත්වා ගෙන ඒම සම්බන්ධයෙන් පුංචි සතුටක් අපට ඇත.

සිත්තරෙකු සිතුවම් මැවීමෙන් තෘප්තියක් ලබයි. ඔහු හදවතේ තෙරපෙමින් තිබෙන යමකට ප්‍රකාශනයක් සිය සිත්තම තුළින් ලබා දෙයි. තෘප්තිය ඔහු ලබන්නේ ඒ ක්‍රියාව තුළ ඔහු අත්විදින භාවයන් නිසා ය.

සිතුවම බලන සමහරු එය අගය කරනු ඇති අතර සමහරු මේ මොන විකාරයක් දැයි කියනු ඇත. සිත්තරාට ඒ අදහස් සියල්ල ද්වීතියක ය. මක්නිසා ද යත් ඔහුගේ නිමැවුම තුළ ඔහුගේ වියමන තුළ ඔහු දැනටමත් තුටුව ඇති නිසා ය. එය ඔහු විසින් වින්දනය කර ඇති නිසා ය.

මේ සටහන් ලියන අපටත් එසේම වූයේ යැයි අපට හැගේ. තෘප්තිය ඇත්තේ ලිවීමෙහි ය. එය කියවන ඔබ ඊට එකතු කරන ගල් මුල් මෙන්ම මල් මාලා ද ඒ නිසාම ද්විතීයක ය.

ඒවායේ කිසිදු වටිනාකමක් නැතැයි මින් නොකියවේ. එහෙත් ඒවාට ඇත්තේ ද්විතියක වටිනාකමකි.

ඒ නිසාම අපි ලීවෙමු. දිගටම ලීවෙමු. වසර දෙකක්ම ලීවෙමු. සටහන් 826 ක් ලීවෙමු. ඒවාට ප්‍රතිචාරවලට උත්තර ද ලීවෙමු. ඒ ලිවීම අප තුටු පහටු කරන නිසා ය.

අපගේ ගමන් සගයින් ගණන දිනපතා සතිපතා මාස්පතා ක්‍රමයෙන් වැඩිවිණි. මේ වනවිට මේ අඩවියට කියවනු පිණිස සහෘදයන් ගොඩවුනු වාර ගණන 240000 ක් ඉක්මවා තිබේ. ලිවීමෙන් අප ලද තෘප්තිය ඒ ආගමනයෙන් වඩාත් විකසිතව තිබේ.

ඒ ආ හැමදෙනෙක්ම අප හා එකග වූයේ නැත. සමහරු ලියන හැම එකකටම විරුද්ධ අය ය. සමහරු යම් යම් කාරණා ගැන නොසතුට පළ කර සිටියහ. ඇත්තටම අප වඩාත් කැමති සංවාදයට ය. එකග නො‍වීම ඒ නිසා හොද ය. අපට වඩාත් හොදින් අපේ අදහස කිව හැක්කේ ඒ බව අප දැනගත් විට ය. අපට යමක් අලුතෙන් උගන්නට ලැබෙන්නේ ද එවැනි මැදිහත්වීම් හේතුවෙනි. ඒ නිසා සතුරු මිතුරු සියල්ලන්ට අප හා මේ ගමනේ මද දුරක් හෝ යෑමට එක්වීම ගැන අපගේ තුතිය පළ කළ යුතු ය. අපට මේ කාර්යයේ යම් වෙහෙසක් දැනුනේ නම් කාන්සියක් දැනුනේ නම් ඔවුන් නිසා ඒ වෙහෙස කාන්සිය දුරුවූ බව ද කිව යුතු ය.

අප දිනපතා ලියූ නිසා  බොහෝ දෙනෙක් සිතුවේ මේ නම් වැටුපකට කරන රැකියාවක් කියා ය.  ලියන දේ අනුව වැටුප ලැබෙන්නේ එන්ජීඕවලින් යයි ඔවුහු අනුමාන කළහ. ඒ තමන්ගේ වැටහීමේ ප්‍රමාණය අනුව ය. ඔවුන්ට අනුව මෙහෙම වැඩක් කෙනෙක් මුදල් නොලබා කරන්නේ නැත. මිනිසුන්ගේ බුද්ධියේ හා දැනුමේ පළල ගැන අපට කළ හැකි කිසිවක් නැත. එහෙයින් ඒ අවලාද වලට අපට හැක්කේ මුණිවත රකින්නට පමණි.

අප ලියුවේ අපගේ සතුටට යයි ඔවුන්ට ඒත්තු ගැන්වීමට අපට කිසිදා නොහැකිවනු ඇත. එය අවශ්‍ය වන්නේ ද නැත.

අප මියන්මාරයට නැව් නැංගේ යැයි අසා එවන් කීප දෙනෙකු අතිශයින් සතුටට ද පත්වූහ. නැවත පැමිණීම ගැන උරණව අපට බොරු කාරයෙකැයි චෝදනා ද කළහ.

මියන්මාරය යනු සරණ පතා යන රටක් නොවේ. මිනිසුන් සරණ පතා යන්නේ ඒරෝප්පයට ඇමරිකාවට කැනඩාවට හෝ ඕස්ට්‍රේලියාවට ය. ඒ නිසාම එවැනි ‍රටක් තෝරාගැනීමෙන්වත් අප නගන්නට මතුකළ උපහාසය තේරුම් ගැනීමට උන් අපොහොසත් විය.

මේ වසර දෙක තුළ අප ලිවීම තාවකාලිකව නතර ‍කළේ සති දෙක තුනක කාලයකට පමණ ය. ඒ අපේම අස්ථානයන් නැවත විමසනු පිණිස ය. ඒ අප හැමවිටම අප නිවැරදි යැයි නොඅදහන නිසා ය.

හෙටත් දිවි තිබුනොත් දිගටම ලිවීමට අපේක්ෂා කරමු. ඒ ලිවීම අපගේ ජීවිතය ද වන නිසා ය.

අප‍ගේ ලිවීම නිසා අප රට තුළ යම් සාධනීය වෙනසක් ඇති වන්නේ නම් අපට අමතර සතුටක් ඇති‍ වනු නොඅනුමාන ය. ලියන්නේ නම් එහෙම එකක් මේ ලියවිලිවලින් ඇතිවෙතැයි කියා ලොකුවට හිතාගෙන නම් නොවේ. එහෙත් ලොකු වෙනස්කම් වන්නේ කුඩා වෙනස්කම් බොහෝමයක එකතුවෙන් බව නම් අපි විශ්වාස කරමු. ඒ නිසා මොකක්වත් නොකර ඉන්නවාට වඩා කළ හැකි කුඩා දෙයක් හෝ කිරීම මැනවැයි අපි සිතමු. එය ද දිගටම ලිවිමට අපට ධෛර්ය දෙයි.

අවසාන වශයෙන් අපගේ සතුට දෙගුණ තෙගුණ කරන ‍පිබිදීමක් අපි සිංහල බ්ලොග් අවකාශය තුළ දකින බව ඔබට කිව යුතු ය. ඒ අපට බොහෝ සෙයින් සමාන අදහස් දරන අපට ද වඩා දක්ෂ අලුත් බ්ලොග් අඩවි කිහිපයක්ම මතුව තිබීම ය.

රට අද නැතත් හෙට ලෝකයේ ඉහළ තැනකට පත් කළ හැකි වෙතැයි විශ්වාසයක් ඒවා දකින විට ඇතිවේ. ගමනාන්තය ලග පාතක නොපෙනෙතත් ඒ දෙසට යන්නට අපට වඩාත් හයියක් උන් නිසා ලැබී තිබේ. දැඩි අධිෂ්ඨානයෙන් රටේත් අපේත් අපේ දරු පරපුරේත් උන්නතිය සදහා ඉදිරියට ඇදෙමු.

ඒ බියොන්ඩ් ෆ්රේම් උපන් දින පැතුමයි.

Posted in: Uncategorized