‍දෙන්න ඔන්න මෙන්න ය!

Posted on October 9, 2010



සරත් ෆොන්සේකාට සමාව දෙන ලෙස මහා සංඝ රත්නය ද කතෝලික සභාව ද විපක්ෂය ද ඉල්ලා ඇත. එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ එම ඉල්ලීම් සමාව දීම සදහා ප්‍රමාණවත් නොවන බව ය. ඒ සදහා වැරැද්ද කළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ කෙනෙකු හෝ ඉල්ලීමක් කළ යුතු බව ය.

වැරැද්ද කළ පුද්ගලයා එය පිළිගෙන සමාව ගත යුතු යැයි කීම තර්කානුකූල ය.

එහෙත් ඔහුගේ පවුලේ කෙනෙකු ඔහු වෙනුවෙන් එම ඉල්ලීම ‍කළොත් සළකා බලනවා යැයි කීමේ තර්කයක් නැත.

ඒ අපට ය. ලංකාවේ නීතිය ඉදිරියේ ය. ඒකට පොළොවේ පය ගහල ඉන්නා නායකයින් ඉදිරියේ තර්කයක් තියෙන්නට පුලුවන. අපේ නොදැනීම ගැන ඔවුන් පලි නැත.

මහා නායක හිමිවරුන්ට හෝ කතෝලික සභාව හෝ විපක්ෂයට වඩා ආණ්ඩුවට පවුලේ උදවිය වැදගත් වූයේ හමුදා පනතේ කුමන වගන්තිය යටතේ දැයි යන්න පැහැදිලි නැතැයි එහෙම නීතියම ඔලුවේ තියන් ඉන්න අයට කියන්නට පුලුවන. ඒ ඔවුන් නීතිය ගැන දැනගත්තත් ලංකාව ගැන නොදන්නා නිසා ය.

ජම්පරයක් ඇදගත් සරත් බෙලෙක් පිගාන ගත් සරත් හිරෙ ලගින සරත් කරදරයක් වෙතැයි අප කීවේ මේ නිසා ය.

සමාව දෙන්නට මොකක් හෝ නිමිත්තක් යෙදෙනවා නම් හොද ය. සරත්ට බැරිනම් පවුලේ කෙනෙකු ලවා එය කියවා ගන්නට හදන්නේ ඒ නිසා ය.

සමහරවිට සංවේදී නායකයාගේ සංවේදීකම ප්‍රදර්ශණය වන්නේ එවැනි ඉල්ලීමකට දක්වන සංවේදී ප්‍රතිචාරයකින් විය හැකි ය.

ඇත්තටම මන්ත්‍රී පදවිය අහෝසි කර ඇති නිසා සමාවක් දීමේ දැන් ලොකු ගැටලුවක් නැති වෙන්නට ද පුලුවන. සුදු කොඩි නඩුවෙන් නැවත හිරේ දමන තුරු සමාවකුත් දී තිබුනාට දැන් කමක් නැති වෙන්නට වුව පුලුවන.

අපි නරඹමින් ඉන්නේ ඉතාමත් සංවේදී මෙන්ම ඉතා සංවේගජනක නාට්‍යයක් බව මේ සියල්ලෙන් කියවෙන්නේ ය. ඒ නාට්‍යයට පවුලේ කෙනෙකු අඩාවැටෙමින් ජනාධිපති තුමා ලග දනින් වැටී සමාව ඉල්ලීමත් ඉතා ගාම්භිරව ඒ සමාව ප්‍රදානය කිරීමත් ඇතුළත් කර ගත්තහම වැඩේ නැගලා යනවා ය.

අපිට ද ඇඩු කදුලින් එහෙම උද්වේගකර නාට්‍යයක් බලා ඉන්නට ලැබෙන එක හොද ය. ටෙලි නාට්‍යවල දැන් ඉන්නා නලු නිලියන් රැගුම් හරි පල් ය. අතාත්වික ය. තාත්වික රංගනයකින් උපත ලබන දුක්ඛ රසය සියලු රස ඉක්මවා යන්නේ ය.

ඒ නාට්‍ය නරඹන්නට ‍මේ දවස්වල නොවරදවා ප්‍රවෘත්ති බැලුවොත් බැරිවෙන එකක් නැත. දැන් නම් දෙන්න ඔන්න මෙන්න ය.

පොඩි පරහකට ඇත්තේ ප්‍රධාන නලුවා ලක ලෑස්ති වී සිටියත් ඉතිරි සෙට් එක පස්ස ගැහීම ය. උද්වේගකර අවසානයට එහෙම වුනොත් වෙන පිටපතක් හදන්න වෙනවා ය.

Posted in: Uncategorized