ඔලු තුනේ යක්ෂයා – ස්ථර තුනක් සහිත පාලක පංතිය ගැන විමසුමක්

Posted on October 8, 2010



පාලකයින්ගෙන් ඉහළ ස්ථරය නපුරු ය. ලෝභ ය. වංචනික ය. තමන්ට ලාභයක් ගෙන දෙන දේ පමණක් කරන්නෝ ය. තම ප්‍රතිවාදීන්ට නියත අලාභයක් පමණක් ගෙන දීමට වග බලා ගන්නෝ ය. තමන්ට එරෙහිව යන අය කුජීත කරවීමට කටයුතු කරන්නෝ ය.

දෙවැනි ස්ථරය කුහක ය. අවස්ථාවාදී ය. වාසි දේ පැනලා කරන්නෝ ය. අනිත් ඒවා බේරෙන්නට කරන්නෝ ය. උන් ඒ නිසා පාට මාරු කිරීමට දක්ෂ ය. පළමු ස්ථරයට අවශ්‍ය දේ කර දෙනුයේ මුන් ය.

තුන්වෙනි ස්ථරය මුග්ධ ය. පටු ය. කියන්නක් කරන්නෝ ය. ඔහේ බිම බලාගෙන කරන්නෝ ය. දෙවැනි ස්ථරයේ උපදෙස් පිළිපදිමින් පළමු ස්ථරයට වුවමනා දෙය කරගැනීමට භෞතිකව පාර කපා දෙන්නේ උන් ය.

පළමු ස්ථරයේ බහුතරය සෑදෙන්නේ ඉහළ දේශපාලනඥයින්ගෙන් හා මහා ව්‍යාපාරිකයින්ගෙනි. දෙවැන්නේ බහුතරය රජයේ හා වෙනත් ආයතනවල ඉහළ නිලධාරීන්ගෙනි. උන්ට පරිවාරකම් කරන තවත් බාහිර පිරිසක් ද සිටිති. උන් යන්ත්‍රයෙන් පිට සිටියත් උන්ගේ දායකත්වය පාලක පන්තිය සදහා තීරණාත්මක ය. ඒ අය අතර කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන් හා සමාජයේ මතවාදයන් සකස් කරන තවත් එවැනි අය සිටිති. තෙවැන්නෙහි බහුතරය ර‍ජයේ හා වෙනත් ආයතනවල සේවකයින්ගෙනි. තුන්වෙනි ස්ථරයට ද පරිවාරකම් කරන එහි ලක්ෂණවලින්ම සමන්විත තවත් පිරිසක් සිටී. උන් නම් ආණ්ඩුවේ නියමයක් ලද වහාම පාරදිගේ කිරිබත් කමින් මෝඩ චූන් ගන්නා මිනිසුන් හා ඊනියා ‘යුතුකම්’ ඉටුකරනු පිණිස තම ඡන්දය දමන ඡන්ද දායකයා ය.

එහෙම බැලුවහම මෙවැනි පාලනයක් හිතනවාට වඩා පළල් ය. ජනතාව වෙනුවෙන් ජනතාවගේ පාලනයක් යයි මෙවැන්නකට කටපුරාම කිව හැක්කේ මේ නිසා ය.

ඉහළ නිලධාරින්ගෙන් හා උන්ට පරිවාරකම් කරන්නන් ගෙන් සමහරක් පළමු ස්ථරයටත් සම-හරක් තෙවැනි ස්ථරයටත් වැටෙන බව ඇත්ත ය. ඉහළ දේශපාලනඥයින්ගෙන් හා මහා ව්‍යාපාරිකයින්ගෙන් ද සමහරක් දෙවැනි ස්ථරයටත් තව සම-හරක් තෙවැනි ස්ථරයටත් වැටෙන බව ද ඇත්ත ය. රජයේ හා වෙනත් සේවකයින් අතර ද මෝඩ චූන් ගන්නා ‘මහ ජනයා’ අතර ද පළමු හා දෙවැනි ස්ථරයට නෑකම් කියන්නට සමත් අය ද සිටිති. (එහෙම අය තමන්ට අයිති ස්ථරයට ඉක්මණින් ගමන් කරනවා මිසක ඉන්නා ස්ථරයේ රැදෙන්නේ නැත. ) එහෙත් අප කථාකරන්නේ ඒ ඒ ස්ථරයේ ඉන්නා බහුතරය ගැන ය.

අප මේ කියන්නේ අප දකින සාමාන්‍ය පාලනයේ ස්වභාවයයි. මේ අතර වෙනත් ආකාරයක මිනිසුන් ද සිටිති. ඔවුන් අමාරුවේ වැටෙන්නට නියමිත ය. ඒ උන් තමන් නියෝජනය කරන ස්ථරය හා නොගැලපෙන බැවිනි.

නරක නපුරු ලෝභ ලොක්කෙකුට තමන්ගේ පාලනය ගෙන ගිය හැක්කේ මේ ස්ථරයන් මේ ආකාරයට සකස් වුනොත් විතර ය.

ඒ නිසාම ගස් බැදලා හෝ කියන පදයට නටන්නට පුලුවන් තෙවැනි ස්ථරයක් හදා ගන්නට ඔවුන් මැලි නොවන්නෝ ය. හිරේ දාලා හෝ වාසියට නැමෙන්නේ නැති තමන්ගේ පදයට පාද තබන්නට අකමැති අය දෙවැනි ස්ථරයෙන් ඉවත් කරන්නට කටයුතු කරන්නෝ ය.

කීකරු විනීත රජයේ සේවයක් ලබා රජු විරාජමාන්‍ය වන්නේ එහෙම වුනොතින් ය. ඊට සමානව සක්විතිලාත් කොතලාවලලාත් තවත් එවැනි ව්‍යාපාරිකයෝත් තමන්ගේම වැයික්කිවල රජකම් කරන්නේ ද එහෙම වුනොතින් ය.

කොළඹින් ඉඩමක් ලැබිලාත් වෙන තාන්න මාන්න ලැබිලාත් ඒ වාසිවලට නැමී දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රජතුමාට කඹුරමින් ඉන්නට සරත් ෆොන්සේකාට බැරි වූ නිසා ඔහු හිරේ ගියේ ය. එහෙම නොගියොත් රජ්ජුරුවන්ට රජකම් කරන්නට බැරිවන්නේ ය.

ගස් බැන්ද එකා තමන් විහින් බැද ගත්තේ යයි කීවේ ෆොන්සේකා කළ ගොන්කම කරන්නට තමන්ට ඕනෑ නොවුන නිසා ය.

ස්ථර තුනක් ඇති මේ පාලනය අර්බුදයට යන්නේ දැනුවත් මිනිසුන්ගෙන් යුත් සමාජයක් තම අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වුනු දාක ය. තමන් මේ ස්ථර තුනෙන් එකකවත් ආධිපත්‍යයට යටත් වෙන්නට සූදානම් නැති බව ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වුනු දාක ය. මේ තෙආකාරයේම පාලනය විමසුමට ලක් කිරීමට සූදානම් වූ දාක ය. යහපාලනයක් ඉල්ලා සටන් වදින්නට සූදානම් වුනු දාක ය.

එතෙක් අපට සිදුවනු ඇත්තේ පාලකයින් හිරිකිතයක් නැතිව අපේ මුදල් ගසා කමින් ප්‍රීති වෙනු ද අවස්ථාවාදී නිලධාරින් උන් හා එකතුව එයින් කොටසක් තම සාක්කුවට දාගනිමින් පාලකයින්ට තමන්ගේ ආදායම් මාර්ගයන් සාදා දෙනු ද අතිමහත් බහුතරය මේ සියල්ල උපේක්ෂාවෙන් ඉවසමින් ඊට දැන හෝ නොදැන අත් උදව් දෙන හැටි ද බලමින් සුසුම් හෙලීමට ය.

ඊට අමතරව ඊට අවශ්‍ය පරිසරය සකසනු වස් පාලකයින් විසින් කරන ගස්බදින – හිරේ දමන නාඩගම් බලා අත් කම්මුලේ තබා ගෙන කම්පා වීමට ය.

Posted in: Uncategorized