පව් අමතක කිරීම උදෙසා පින් කිරිම

Posted on October 4, 2010



පව් නොකර බැරි යයි සමහරු කියති. එසේ කියන බොහෝදෙනෙක් අධික තෘෂ්ණාවෙන් පෙළෙයි.

උන් පව්කරන්නේ අයත් කරගැනීමේ දැඩි ආසාවෙන් පෙළෙන නිසා ය. තමන්ට යුක්ති යුක්ත දේ පමණක් නොවට ඊට වැඩිමනත් දේ පවා හිමිකර ගැනීමේ වුවමනාවෙන් පෙළෙන නිසා ය. යුක්ති යුක්ත දේ අයත් කර ගැනීමට පව් කළ යුතු නැතත් එසේ නොවන දේ අයත් කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම පව් කළ යුතු ය.

කුසලතා ගුණයහපත් කම් ඇති අනෙකා අභිබවා එසේ නැති තමන්ට මතු විය හැක්කේ පවක් කිරීම තුළින් පමණක්ම ය. එවන් විටෙක තමන්ට නියමිත තැනට වී පසුබැස සිටීම බොහෝ අයට අපහසු ය. ඒ නිසාම  එසේ සිටින්නේ ස්වල්ප දෙනෙකි.

බොරුව, වංචාව, කපටිකම, දූෂණය, බලය හා මුදල් යන සියල්ල යොදා කුසලතා හා ගුණයහපත් කම් ඇති සුදුසු අනෙකා පසෙකට කොට තමන් මුදුනා වීමට හා තමන්ට අයිති නැති දේ අයත් කර ගැනීමට කටයුතු කරන බොහෝ දෙනා තමන් කරන ඒ පව් වලට බිය ඇත්තෝ ය.

ඒ බය මග හරවා ගැනීමට උන් පින් කරති. පන්සල් ගානේ යති. පන්සල්වලට සළකති. බණ අසති. දානමය පිංකම් කරති. පිරිත් ‍සංවිධානය කරති. බොරුවට හෝ සිල්ගනිති. පිච්ච මල් පූජා කරති. අටපිරිකර දෙති. කඨින පිංකම් කරති. බෝධිපූජා කරති.

උහු මුස්ලිම් නම් පස්වතාවක් අල්ලාට වදිති. ක්‍රිස්තියානි නම් දේව ස්ත්‍රෝත කියති. උහු හින්දු ආගමේ කාලිඅම්මාන් අදහන්නේ නම් කාලි අම්මාන් කෝවිලට ගොස් අහිංසක සතුන් මරති.

ඔය කිසිදු ආගම් බේදයක් පවා නොතකන සමහරු වෙනත් ආගම්වලට අයත් දේවාලවලට ද ගොස් බාර හාර වෙති. කපටියන්ගෙන් අධික මිලට ගෙන සුර පළදිති. දේවාල පුල්ලියන් හා කපුවන් කියන ඕනෑම බහුබූතයක් කරති.

‍මීට සමාන හේතු නිසාම පික් පොකට් ගහන මිනිහා ද වැඩ ආරම්භ කරන්නේ පහන් පත්තු කර සුවද දුම් දැල්වීමෙන් පසු ය.

පව් කාරයින්ට කප්පරක් ආශිර්වාද ඕනෑ ය. ටොන් ගණනින් පින් ඕනෑ ය.

තමන් හොර රහසේ කරන සියලු අකටයුතුකම් වසා ගැනීමට උන් එලිපිට කරන මේ කටයුතුවලින් ඝන කඩතුරාවක් ලැබෙන්නේ ය.

උන් හිගන්නන්ට කැමති වැඩි මහන්සියක් නැතිව පින් කරන්නට ‍අවස්ථාවක් ලබා දෙන නිසා ය.

පින් කැමති මිනිසුන් දෙස හා මල්වට්ටි උස්සාගෙන ගොස් පන්සල්වල පාලුකපන්නන් දෙස මා දෙවරක් බලන්නේ ඒ නිසා ය.

රටේ අධර්මය වැඩිවන අනුපාතයට සමාන අනුපාතයකින් පින් කැමැත්තන් වැඩිවන්නේ ද ඒ නිසා ය.

Posted in: Uncategorized