මේ ගැනත් මොනවා හරි කවුරු හරි කොරනවා ඇති‍ නේද?

Posted on October 2, 2010



ජීවන බර ප්‍රශ්නයකි. ලැබෙන වැටුපෙන් ජීවිතය ගැට ගසා ගැනීම අරගලයකි. එහෙත් මේ ගැන කතා කරන කෙනෙක් නැත.

ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයත් ප්‍රධාන විපක්ෂයට ප්‍රතිසංවිධානයත් ඊට වඩා වැදගත් ය. ජවිපෙ තමන් විසින් නිර්මාණය කරන ලද ආණ්ඩුවේ බැට දීම් ඉදිරියේ අසරණව ඇත්තේ ය. ඒ තුවාල ලොවිනවා විනා ජවිපෙට ද යමක් කරන්නට ඉස්පාසුවක් නැත. වම ගැන නම් කතා කරලා වැඩක් නැත. එහෙම එකක් එක කාලයක තිබුන බව නම් අපට මතක ය.

පත්තර කන්තෝරු සොයන්නේ ජනතාවට විනෝදය ගෙන ආ හැකි ප්‍රවෘත්ති ය. ත්‍රාසය ලබා දිය හැකි අංග ය. ඒ නිසාම සක්විති ගැනත් නිදන් හොරු ගැනත් උන් ආලවට්ටම් යොදා ලියති. රනිල් සීනි නැතිව රජගෙදර දී කෝපි බිව් හැටිත් ඒ ගැන අතෝරක් නැති කතාත් අපි අසමු. රටේ ආර්ථිකය පිලිවෙලක් කරන්නට දායකත්වයක් ඒ සදහා තල්ලුවක් උන්ගෙන් වත් ලැබෙන්නේ නැත.

වෘත්තිය සමිතිවලට යුනිෆෝම් ගැනත් තනතුරු නාම ගැනත් නිල කාමර ගැනත් කප්පරක් ගැටලු තිබේ. ඒ නිසා ඔවුන්ට මෙහෙම ප්‍රශ්නයක් ගැන සොයන්නට කියා සිටීමම අසාධාරණ ය.

උපකුලපතිලා කරන්නේ සරසවියේ කොල්ලන් කෙල්ලන් තමාට හොරෙන් උම්මා එකක් දීලා ආතල් ගනී දැයි කියා මිසක රටේ ආර්ථිකය නංවන්නට සරසවියට දායක විය හැක්කේ කෙසේ ද කියා නොවේ. ඒ නිසා සරසවියට පවා මේ ගැන කළ හැකි දෙයක් නැත.

හාමුදුරුවන්ට මුන්නේස්වරම් කෝවිලේ සත්ත්ව ඝාතන නවත්වනවා මිසක තමන්ගේ අනුගාමිකයින් නන්නාත්තර වී ඇති කාරණයට පිලියමක් යෙදිය හැක්කේ කෙසේ දැයි කියා බලන්නට වත් විවේකයක් නැත. උන් දානය හදා ගෙන එන්නේ මොන අමාරු කම් මැද්දේ දැයි විමසන්නටවත් අදහසක් හාමුදුරුවන්ට නැත. එහෙම වටපිටාවක ඒ අය ඉදිරිපත් වේ යැයි කෙසේ සිතන්න ද? පල්ලිවලට ද තමන්ගේ පැත්තට මිනිසුන් හරවා ගන්නට මිසක් වෙන එකකට කාලයක් නැත.

කෝවිල් දේවාල ගැන කිව යුත්තේ උන් වඩාත් උනන්දුවන්නේ බැතිමතුන් ඔප්පු කරන්නට එන පූජාවන් හා බාර හාර ගැන බව ය. අපේ කාලකණ්ණි කමට දෙවියන් මුණ ගැහෙන යන එකෙක්වත් අනේ මේ ජීවන බර පොඩ්ඩක් අඩුකර දෙන්නැයි දෙයියන්ට කියන්නේ ද නැත.

ඇත්තටම ලාබ බිත්තර දාන ලෙස කිකිළියන්ට තරවටු කරන ජොන්ස්ටන් ඇරුණහම අපේ ජීවන වියදම හෝ බඩගින්න බලන කෙනෙක් නැත. එයත් කෙකර ගෑවට ඉන් එහාට යමක් කරන්නට පුලුවන් බවක් තවම පෙන්වා නැත.

පහුගිය දවස්වල කිරිබත් හා දන්සැල් නිසා දිවි ගෙවා ගත් අපට ද කන්නේ කෙසේදැයි මතක් වූයේ නැත. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීම ගැන ද මානව හිමිකම් ගැන ද අපි පවා කතා කරමින් සිටියෙමු. ජීවන වියදම අපට ද මාතෘකාවක් ලෙස අමතකව ගියේ ය. දැන් නම් බඩ ගිනි දැනෙන්නේ ය.

යුද්ධය ගැන ආවර්ජනය කරමින් දිගටම ඉන්න පුලුවන් කමක් නැත. එයින් මනසට මිසක් බඩට කිසිවක් ලබා‍ දෙන්නේ නැති නිසා ය.

හාල් ලාබ නිසා ලුණු බතුයි හෝ කාලා ඉන්න බැරියයි මායියා කිව්වත් ඒකත් දිගටම කරන එක ලේසි නැත.

දෙදහස් පන්සියයක් දෙනවා කිව්වාට එහෙම එකක් කියූ කෙනෙක් දැන් හොයා ගන්නට නැත.

ඔව් ඉතින් තොට කන්න දෙනව නම් ‍රට මොකාට ගියත් කමක් නෑනේ දැයි අවි අමොරාගෙන අප හමුවට එන්නට ඉඩ තිබෙන අපේ සහෘදයින්ට ද මේ වනවිට බඩගිනි දැනෙනවා ඇතැයි අපි සිතමු.

හම්බන්තොට වරායට නැව් ආවාම කන්න දෙන්නම් කියමින් දරුවන්ව පවා හැමදාම රවටන්නට බැරි ය.

කවුරු හරි මේ ගැන මොනවා හරි කරනවා ඇතැයි සිතමින් අපි දු කල් ගෙවමු. කවුරු හරි මොනවා හරි කොරනවා ඇති නේද?

Posted in: Uncategorized