අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්නට ඉදිරිපත් වන්නේ කවුද? – අනේ කාලේ වනේ වාසේ!

Posted on September 30, 2010



බැසිල් රාජපක්ෂ ඇමතිතුමා තමන්ගෙන් සමාව ගන්නා තුරු මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ නායක අම්පිටියේ සුමනරත්න හිමියන් මාරාන්තික උපවාසයක යෙදී සිටින බව ලංකාඊනිව්ස් වෙබ් අඩවිය හෙලිකරයි. ඒ ඇමතිතුමා බැහැ දකින්නට ගිය වෙලේ එහිමියන්ට බැණ වැදී පන්නා ගත් නිසා යැයි කියවේ.

බැණ වැදුනේ කුමක් නිසා දැයි හරිහැටි දැන ගන්නට නැත.

කුමක් නිසා හෝ හාමුදුරුවන්ට බැණ වැදීම වැරදි යැයි හාමුදුරුවන් කල්පනා කරනවා විය හැකි ය. ඒ තමන් හාමුදුරු කෙනෙක් නිසා ය.

තමන් බලවත් ඇමති කෙනෙක් නිසා දෙවැනි වන්නේ රජුට පමණක් නිසාත් හාමුදුරු කෙනෙකුට නොව වෙන ඕනෑම ජගතෙකුට බැණ වැදිය හැකි යයි ඇමතිතුමා කල්පනා කරනවා විය හැකි ය. පුලුවන් නම් මාරාන්තික උපවාසය කර බලන්නැයි හාමුදුරුවන්ට පයිණ්ඩයක් ඔහු විසින් යවන්නට ඇත්තේ ඒ නිසා ය. ඒ බව ද අපට කියන්නේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියයි.

වඩා බලවත් පූජ්‍ය පක්ෂය ද දේශපාලනඥයින් ද යන්න උරගා බැලෙන සිද්ධියක් නිසා මේ ගැන අප ද උනන්දු ය.

රට යන අත අනුව නම් ජය ලැබෙන්නේ දේශපාලනඥයාට ය. ඒ නිසා පූජ්‍ය පක්ෂය උගත යුතු පාඩම නම් තමන් කෙරුමන් වන්නේ සෙසු මිනිසුන් ඉදිරියේ මිසක දේශපාලනඥයා ඉදිරියේ නොවන බව යි. සෙසු අය ඉදිරියේ කෙරුමන් වන්නට නම් දේශපාලනඥයින් ඉදිරියේ පීචං වීමට සූදානම් විය යුතු බව ය.

මේ බව තේරි මල්වතු හිමියන් ද පසු බැස ගියා අපට මතක ය. ඒ සරත් ෆොන්සේකා වෙනුවෙන් නුවර උද්ඝෝෂණයක් පවත්වන්නට ගොසින් ය.

මල්වතු හිමියන් ද එසේ පල්ලම් බැස්ස කල අම්පිටියේ හිමියන්ට මෙහෙම හයියක් ලැබුනේ කෙසේ ද?

සමහර විට මේ බුදුන්ගේ දේශය යයි අම්පිටියේ හිමියන් කල්පනා කරන්නට ඇත. මේ බුදුන්ගේ දේශය බව සැබෑ ය. ඒත් ඒ මේ රාජපක්ෂගේ දේශය යන්නට පසුව යෙදෙන්නකි.

(හාමුදුරුවන්ට බණින්නට බියොන්ඩ් ෆ්රේම්ට අයිතියක් නැති වුව ද ඒ අයිතිය රාජපක්ෂලාට තිබේ. ඒ එතුමන් මේ බෞද්ධ දේශයේ ආරක්ෂකයින් නිසා ය. ශාසනයට, සංඝයාට, පවා රැකිය නොහැකිව ඇති බුද්ධාගම රාජපක්ෂලා විසින් රකින නිසා ය. ඉස්සර රජකාලේ වුනත් එහෙම ය. මැන්දිස් රෝහණදීර මහතා, ජැක්සන්, මේධානන්ද හිමියන් හෝ ජේආර්පී වැනි ඉතිහාස ඔස්තාර්ලා කීප‍දෙනෙක්ම ඕනෑ නම් සාක්කිවලට කැදවිය හැකි ය.)

ඒ ගැන නොදන්නා අය දැන් දැන ගනිමින් සිටින්නෝ ය. අනිත් අය උපවාස කර එක්කෝ මැරී යායුතු ය. නැතිනම් විමල් වීරවංශ ගිය මාවත ගත යුතු ය. දෙවැන්න තෝරා ගන්නේ නම් වතුර පොවන්නට කෙනෙකු සොයා ගත යුතු ය.

අම්පිටියේ හිමියන්ට වතුර පොවන්නේ කවුද?

Posted in: Uncategorized