රාත්‍රී සමාජශාලාවලටත් තිතක් තියමු ද?

Posted on September 29, 2010



පිස්සු කෙළිය හැක්කේ දේශපාලනඥයින්ට පමණක් නොවේ. බලයෙන් මත්ව ජවුසං නැටිය හැක්කේ දේශපාලනඥයින්ට පමණක් නොවේ. එවැනි දෑ නඩු කාරයින්ට ද කළ හැකි බව තිස්සමහරාම මහේස්ත්‍රාත්තුමා කොල්ලු පිටියේ දී ඔප්පු කර ඇත. ඒ රාත්‍රී සමාජශාලාවකදී කීප දෙනෙකුට නෙලා ය.

රජයේ මන්ත්‍රිවරයෙක් රථවාහන අංශයේ සාජන් කෙනෙකුට පහර දුන්නේ තමන්ගේ සහෝදරයෙකු හෙල්මට් නැතිව බයිසිකල් පදවා නීතියේ රැහැනට හසු කර ගැනීම සම්බන්ධයෙනි. එහෙව් රටක මහෙස්ත්‍රාත්වරයෙකුට රාත්‍රි සමාජ ශාලාවක සිකියුරිට් ගාඩ් කෙනෙකුටවත් ‍මෙහෙම පාට් එකක් දාන්න බැ‍රි ද?

මන්ත්‍රීතුමා යහතින් ඉදිද්දී මහේස්ත්‍රාත්තුමාගේ වැඩ තහනම් කිරීම අප දකින්නේ මානව හිමිකම් කඩ කිරීමක් ලෙස ය.

මහේස්ත්‍රාත්තුමා මේ සිද්ධියේදි සිය තුවක්කුව භාවිතයට ගෙන ඇතත් කාටවත් ඉන් තුවාලයක් පවා සිදුවී නැත. එයින්ම මෙය නාට්‍යයක් බව නොපෙනේ ද?

ඇත්තටම රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යයක් රග දක්වන්නට අවසර නැත් ද? වීදි නාට්‍ය රජයේ පරිශ්‍රයන්හි පවා රග දක්වන්නට අවසර ඇති රටක ඒ සදහා රාත්‍රී සමාජශාලාවක් භාවිතයට ගැනීම ගැන අපට මහෙස්ත්‍රාත් කෙනෙක් සමග උරණ විය හැකි ද?

මේ නාට්‍ය ගස්බැදීමට වඩා තරමක් ත්‍රාසජනක බව ඇත්ත ය. එහෙත් වැඩිහිටියන්ට පමණයි යන ලේබලයට යටත් නොවන චිත්‍රපටිවල පවා වෙඩි තබා ගන්නා දර්ශන තිබේ. එහෙම බැලුවහම මේ වැඩ තහනම් කිරීම අසාධාරණ ය.

රාත්‍රී සමාජශාලා සුචරිතවත් සමාජයකට ඔබින්නේ නැතැයි ද මෙවැනි අවුල් ඇතිවන්නේ ඒ නිසා යයි ද හෙළ උරුමය ඝෝසාවක් නගන්නට ඉඩ තිබේ. ඇත්තට ම ඝෝෂාවක් නොව හීන් කෙදිරියක්වත් නගා ගන්නට බැරි තරමට එය දුර්වල වෙලා නොවේ නම් මෙලහට මොනවා හරි කියලා ය. ඒ නිසා මේ රටේ සුචරිතය වෙනුවෙන් අපවත් පෙනී සිටිය යුතු යැයි අපට සිතුනේ ය.

මට පෙනෙනා හැටියට වැරැද්ද මහෙස්ත්‍රාත්තුමාගේ නොවේ. රාත්‍රී සමාජශාලාවල ය. මීට කලින් ඇමතිවරුන්ගේම පුත්තු කීප දෙනෙකුම වැඩ වරද්දා ගත්තේ ඕවා නිසා ය. ඕවාටත් තිතක් තිබ්බොත් මොකද? එහෙම කළානම් අහිංසක මහේස්ත්‍රාත්තුමා අදත් වැඩ ය.

ඇත්තටම මතට තිත පාතාලයට තිත රාත්‍රී සමාජශාලාවලට තිත. නැගලා යනවා නේද?

Posted in: Uncategorized