පොලිස් දෙපාර්තමේන්තුවේ අලුත් ඇබෑර්තු

Posted on September 28, 2010



පොලිස් දෙපාර්තමේන්තුව අතීතයේ පුරුදු ව සිටියේ සුද්දාගේ විදිහට හොරු අල්ලන්න ය. පස්සෙ කාලයේදී  ඒ අමාරු ක්‍රම අමතක කොට කීප දෙනෙක් අල්ලාගෙන අම්බානකට නෙලා උන්ගේ පාපෝච්චාරණ ඔස්සේ හොරු අල්ලන්නට පොලීසිය කටයුතු කළේ ය.

දැන් ඒ දෙකම වෙනුවට අපට ආවේණික වූ දේශීය ක්‍රමයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. ඒ අප රටේ පැරණි ශාස්ත්‍රයන් අනුගමනය කර හොරු අල්ලන්නට ය.

ඇත්තට ම අපේම ක්‍රමයට යුද්ධයක් කර අපේම ක්‍රමයට ජනවාර්ගික ප්‍රශ්නය විසදා පස්වනක් ප්‍රීතියෙන් ඉන්නා මේ මොහොතේ අපේම ක්‍රමයකට හොරු ඇල්ලීමට තීරණය කිරීම ද අපේ සතුටට කාරණයකි. සියර‍ට දේ සිරිසැප දේ ආදර්ශය පාඨය සමග පවා එය කදිමට ගැලපේ.

ඒ සදහා පළමු පියවර තබා ඇත්තේ පමුණුගම පොලීසියයි. ඒ කනප්පුවක් පාවිච්චි කර හොරු ඇල්ලීමේ ක්‍රමයයි. හොරා ලගට කනප්පු උස්සාගෙන ගොස් තබන්නේ ගමේම මිනිසුන් ය. ඉන්පසු පොලීසියට තියෙන්නේ කනප්පුව නතර කළ ගෙදර ගෙහිමියා කුදලාගෙන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පොලීසියට ගෙන ඒමට ය. එතකොට බඩුම තමා ය.

ඇත්තටම පොලිස්පති තුමා ආචාර්ය උපාධියක් ලද නිසා මේ අලුත් අත්හදා බැලීම් සදහා අලුත් ගැම්මක් එතුමාට ලැබුනා‍ වෙන්නට පුලුවන. ආචාර්ය උපාධි ලබන අපේ විද්වතුන් බොහෝ දෙනෙකු ඒ ශාස්ත්‍ර පසෙකලා දේශිය ඉපැරණි ශාස්ත්‍රම සරණ යන මේ ලංකාවේ පොලීස්පති තුමාගෙන් විතරක් වෙනසක් බලාපොරොත්තු වීම එක් අතකින් අසාධාරණ ය.

කනප්පු මෙතඩ් එකට අමතරව අත්හදා බැලිය හැකි ශාස්ත්‍ර කීපයක් එතුමාගේ දැන ගැනීම සදහා ඉදිරිපත් කිරීමට අප කැමති ය. එකක් පේන බැලීම ය. අවශ්‍ය වෙලාවට හොරාගේ අම්මාගෙන් ද අනිත් වෙලාවට පත්තිනි දේවියගෙන් ද පේන ඇසිය හැකි ය.

ටක්කෙට හොරු ඇල්ලිය හැකි ශාස්ත්‍රකාරයින්ගෙන් ලංකාවට අඩුවක් නැත. පොලීසිය පමණක් මෙවැනි ශාස්ත්‍රඥයින්ගේ සේවය නොගෙන සිටීම තේරුමක් නැත.

ඇත්තටම බුද්ධි අංශයට අමතරව දේශීය ශාස්ත්‍රයන් සම්බන්ධ අංශයක් ද පොලීසියේ ඇති කළ හැකි ය. එතකොට අපේ සාස්තර කාරයින්ටද පේන කාරයින්ට ද රැකියා ලබා දිය හැකි අතර පොලීසියේ වැඩ ද පහසු වේ.

ඊට අමතරව වෙඩි නොවදින යන්ත්‍ර ද මේ අංශ මගින් පොලිස් නිලධාරීන්ට ලබා දිය හැකි අතර ජීවන් කරන ලද වැලි සපයා අපරාධ කරුවන් මෙල්ල කිරීමට අමතර බලයක් ද පොලීසියට ලබා දිය හැකි ය.

වඩාත් වැදගත් වන්නේ අල්ලා ගත් සැකකරු රජයේ ඉහළ තැනකට අයිති ද නැත් ද යන්න ටක්කෙටම දැන ගැනීමට ඥානයක් තිබීම යයි කෙනෙකුට කියන්නට පුලුවන. දැන් වෙන්නේ අල්ලන හැම හාල් පාරුවාම තමන් මහින්ද ගේ නෑයෙක් යයි කියා සිටීම ය. මේ තත්වය යටතේ මේ ගැන ටක්කෙටම දැන ගත හැකි පැරණි ශාස්ත්‍රයක් තිබේ නම් පොලීසිය ඒ ගැන වුවමනාවෙන් සොයා බලනවා ඇත. පොලීසියට ඍද්ධි බලයක් ලබා දෙන අංශයක් මෙහිදී ප්‍රයෝජනවත් විය හැකි ය. එහෙම බැලුවහම පොලීසිය දැන් මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට උත්තර අතීත ශාස්ත්‍රවල තිබේ.

හරි මරු නේ! සියරට දේ සිරි සැපදේ!

Posted in: Uncategorized