පොලිස් අත්අඩංගුවේ සිටියදී අපරාධකරුවන් මිය යාම

Posted on September 27, 2010



පොලිස් අත්අඩංගුවේ සිටියදී අපරාධකරුවන් මිය යාම අදක ඊයේක සිදුවීමක් නොව දුරාතීතයේ සිට එන එකක් බව ඇත්ත ය. එහෙත් මෑතක සිට මෙහි ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ කෙළවරක් නැති අතුරුදහන් වීම්වලට අමතර වශයෙනි.

මිය යන්නේ පාතාලයට අයිති අය යැයි ද මත්කුඩු ජාවාරම් කාරයින් යයි ද කියනු ලැබේ. ඒ නිසාම සමාජයේ අනුකම්පාව උන්ට හිමි නොවන අතර පොලීසිය මෙසේ අපරාධකාරයින් තුරන් කිරීම පළල් සමාජය විසින් ඒ නිසාම නිහඩව අනුමත කරන බවක් ද පෙනෙයි.

මේ පළල් සමාජය යයි කියන ප්‍රපංචයට මේවා ගැන තොරතුරු කියවන මහජනයා පමණක් නොව මේවා ගැන තීන්දු තීරණ ගන්නා මරණ පරීක්ෂක වරු අධිකරණ නිලධාරීන් පමණක් නොව මේ සම්බන්ධයෙන් විමසීමේ වගකීම ඇති පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් ද අයත් ය. එපමණක් නොවේ. සිව්වෙනි නිල නොලත් ආණ්ඩුව ලෙස අභිෂේක ලබන පුවත් පත් හා ජනමාධ්‍ය ද අයත් ය.

ඔවුන් හැමදෙනාගේම වාගේ ආශිර්වාදය යටතේ මෙසේ වළපල්ලට යෑම නිසා අපරාධ අඩුවී ඇති බවක් නම් අපට නොපෙනේ. ඒ වෙනුවට හැමදාම අසන්නට ලැබෙන්නේ අපරාධ පිළිබද අලුත් තොරතුරු ය.

ශිෂ්ඨ සමාජයක අපරාධ තුරන් කිරීමට කටයුතු කළ යුතු බව ඇත්ත ය. එහෙත් ඒ සංසිද්ධියේදී එවන් සමාජයන් විසින් අනුගමනය කළ යුතු ශිෂ්ඨ ක්‍රියා පිළිවෙත් ති‍බේ. නැත්නම් සිදුවන්නේ එක් අපරාධකරුවෙකු මර්ධනයට ගොස් තවත් අපරාධ සිදු කිරීම ය.

(පළා යන හරක් හොරුන් අල්ලන්නට පොලීසියට වෙඩි තියන්නට හිතෙන්නේත් ඒ නිසාම දෙමාපියන්ට දරුවෙකුත් අහිංසක දරුවෙකුට ජීවිතයකුත් අහිමිවන්නට සිදුවන්නේ ඒ නිසා ය.)

පොලිස් භාරයේ සිටින සැක කරුවන් හදිසියේ ආයුධ සොයා කැදවා ගෙන යාමත් අතරමගදී උන් පොලීසියට අඩම්තේට්ටම් කරන්නට ගොස් මරු වැළද ගැනීමත් දැන් අපරාධ මැඩලීමේ නැතිවම බැරි ක්‍රියාදාමයක්ව තිබේ.

මාංචු දමා සිටින අපරාධකරුවෙකු වෙඩි නොතබා මෙල්ල කර ගැනීමට නොහැකි තරම් අපේ රටේ පොලීසිය දුර්වල බව ලෝකයට ලජ්ජා නැතිවම කීම පොලීසියේ ප්‍රශ්නයක් ලෙස බැහැර කළ හැකි ය. එහෙත් ඒ බව දිගින් දිගට අප රටේ අධිකරණය විසින් විශ්වාස කිරීම ද මේ තත්වයට පිළියම් යෙදීම සදහා කිසිවක් කිරීමට පොලීසිය බාර ආණ්ඩුවට, දේශපාලන නායකත්වයට මෙන්ම නිලධාරීන්ට ද, නොහැකි වීම ද බරපතල කාරණා ය.

ඒ ගැන ප්‍රශ්න කළ යුතු ජනමාධ්‍ය පවා එය මගහැර මුණිවත රකින විට හා ආණ්ඩුවේ නිල ප්‍රකාශන විලිලජ්ජා නැතිව එලි දක්වා නිහඩවන විට ද අපට දැනෙන්නේ තත්වය හිතනවාට වඩා බරපතල බව ය.

මේ බරපතල අපරාධයට පළල් සමාජය වගකිව යුතු යැයි අප කියන්නේ එබැවිනි. සමාජයක් ලෙස මෙසේ එක් අංශයක් අශිෂ්ඨ වන විට ‍ඒ අශිෂ්ඨත්වය සෙසු අංශ කරා කාන්දු වීම වැළැක්විය නොහැකි ය.

අතිවිශාල නිරායුධ සිවිල් වැසියන් ද මරා දැමුණු යුද්ධය අනුමත කළ සමාජයකට ඉතිරි සියල්ල ද ඒ ආකාරයටම අවසන් කළ හැකි යයි සිත් පහළව තිබීම එක් අතකට අරුමයක් නොවේ. යුද්ධය අපට තාවකාලික සාමයක් ලබා දී ඇතත් ඒ සදහා වන්දි ලෙස තව බොහෝ දේ උදුරාගෙන තිබේ. එසේ අහිමි කර ඇති දේ අතර ප්‍රධාන වන්නේ මේ ශිෂ්ඨත්වය යි. ඒ වෙනුවට මෘග බලය යොදා සියල්ල සිදුකළ හැකි යයි යන බොරු විශ්වාසය ද එය විසින් ඇති කර තිබේ. ඒ නිසාම ලබාගත් සාමය අතිශයින් තාවකාලික වන බව අපට නම් දැනේ.

කැරලි ඇති කිරීමේ හෝ එසේ ඇතිවනු දැකීමේ වියරු ආසාවක් අපට නැත. එහෙත් මේ යන විදිහට එවැනි දෑ ඇති නොවනු ඇතැයි සිතන්නට අපට හැකියාවක් නැත.

ඒ නිසාම අප ප්‍රාර්ථනා කරන්නේ මේ වියරු සමාජයට මෙත් සිසිල බෙදන්නට මෙතේ බුදුන් ඉක්මණින් පහල වේවා කියා ය.

Posted in: Uncategorized