ජාති හිතෛෂී ව්‍යාපාරයක් මහනුවර දී වැඩ අල්ලයි!

Posted on September 23, 2010



මහනුවර නගර සීමාවේ වෙළද සැළකට කඩා වැදුණු ජාති හිතෛෂී ව්‍යාපාරයේ කියා ගන්නා පිරිසක් වෙළද සැළට දැඩි ප්‍රහාරයක් ද එල්ල කොට මත්කුඩු වික්කොත් මරණ දඩුවම යයි අනාගත දඩුවම් ද පනවා ගොස් තිබේ. “මෙය පළමුවැන්න ය. දෙවැන්න වඩා භයානක ය.” යනුවෙන් පුවරුවක් ද ඔවුන් විසින් එල්ලා තබා ඇත.

මෙය සමහරුන්ට ආශික් ආරංචියක් විය හැකි ය. ඕකුන්ට ඔහොම කරලා මදි යයි සමහරු කියන්නට ද පුලුවන.

එහෙත් අපට නම් මුලු සිද්ධියම ඇතිකරන්නේ ජුගුප්සාවකි. ඒ තුළින් ඇසෙන්නේ ළග එන පෙරහැර හොද නැතැයි කියන කස කාරයන්ගේ හඩ ය.

ඕනෑම තරගකාරී වෙළද සැළක් මේ දණ්ඩනයට ලක් කොට පුංචි ආණ්ඩුව කාලේ මෙන් ජාති හිතෛෂී ව්‍යාපාරයේ ගිණුමට බැර කළ හැකි ය. ඒ කාලෙ  එවැනි බොහෝ දේ සිදුවුනේ ය.

ශිෂ්ඨ රටවල නීතිය ක්‍රියාත්මක කිරීමට ආයතනික ව්‍යුහයක් තියෙන්නේ නීතිය ජනතාව විසින් මෙසේ තමන්ගේ අතට ගත් විට, හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මෙසේ නීතිය ක්‍රියාත්මක කරන්නට වු විට, සිදුවන අරාජික තත්වයෙන් ගැලවෙන්නට ය.

මේ මෙවැනි දෙයක් වූ මුල්ම අවස්ථාව නොවන බව ඇත්ත ය. ජනතාව හා උන්ගේ නියෝජිතයෝ නීතිය ක්‍රියාත්මක කිරීම තමන් අතට ගැන්ම ගැන බොහෝ උදාහරණ අපට තිබේ. මේ අඩවියේම ඒවා ඇතිවූ සැම විටකම අපි ජුගුප්සාවෙන් කතා කළෙමු. එහෙත් මෙය අපට සිහිකරන්නේ 88-89 සමයයි. ඒ කාලයේ ඇතිවූ දේට වඩා මේ දේ භයානක විය හැකි යයි අපට දැනෙන්නේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහයක් තිබේ දැයි විචිකිච්ඡාවක් තිබෙන නිසා ය.

මෙය ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව කරන්නෙකැයි නිශ්චය ලෙස කීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් මේ වකවානුවේ එහෙම හයියක් නැතිව මෙහෙම වැඩ කිරීම තරමක් අමාරු ය. ඊටත් අමතරව ආණ්ඩුවේ දේශපාලනඥයින් පමණක් නොව ඉහළ නිලධාරීන් පවා පාරම් බෑවේ පාතාලය අවසන් කරන බවට ය. මතට තිත තියන බවට ය. එය හොදින් නැත්නම් නරකින් කෙරෙන වකවානුවක ලකුණු පහුගිය කාලයේ පහළ වී තිබුනේ ය. නිල හමුදාව හා පොලීසිය පවා අත්අඩංගුවට ගත් අය මරණයේ දොරකඩට දැක්වූයේ යැයි නිල නොවන ආරංචි පැතිර ගියේ ය.

අප නීතිය ක්‍රියාත්මක කිරීමට පක්ෂ ය. මත්කුඩු ජාවාරම් නැවැත්විමට පවතින නීතියත් ආයතන ව්‍යුහයත් හොදටම ප්‍රමාණවත් ය. එහෙම තිබියදී කැලෑ පොලීසියක් අපට අවශ්‍ය නැත.

අපි ඉතින් ඉස්සරහට යනවා යයි සිතාගෙන හැමදාමත් ගියේ පස්සට ය. සුද්දාට බැණ බැණ උන්ගේ කෙහෙම්මල් නීති නිසා මොකක්වත් හරියට කළ නොහැකි යයි පට්ට ගසමින් මේ නම් යන්නේ ම්ලේච්ඡ යුගයකට නම්, අතීතයට නම්, ඒ ගැන සතුටුවන මිනිසුන්ට අපට කියන්නට ඇත්තේ ඔය සතුට වැඩි කල් නොපවතින බව ය.

තමන්ගේ විරුද්ධවාදියා විසින් තමන්ව මෙසේ කැළෑ දඩුවම් කිරීමකට ලක් කර නොගන්නා තුරු මේ නම් කළ යුතු දෙයක් මැයි සිතන අයට කියන්නට තියෙන්නේ රත්වන තුරු දිය කෙළපං කකුළුවෝ කියා ය. ඊට අමතරව අපට කීමට ඇත්තේ කෑම මේසයට උඹලා වුව යන ගමන කාලය පිළිබද ප්‍රශ්නයක් පමණක් විය හැකි බව ය.

පටන් ගන්නේ මත්කුඩු මර්දනයෙන් ය. අහවර වන්නේ කොතැනින් දැයි කාට කිව හැකි ද? පුංචි ආණ්ඩුවත් පටන් ගත්තේ එසේ ය. අවසන් වුනේ රෑට ලයිට් පත්තු කරන්නන් ද නිහීන දඩුවම්වලට යටත් කරවිමෙන් ය.

මත් කුඩු මර්දනය ඉතා හොද වැඩකි. එහෙත් හොද වැඩ පවා කිරීමේ කලාවක් තිබේ. ඒ බව තේරුම් නොගන්නාට මත්කුඩු මර්දනය කර ගෙනෙන්නේ ඊටත් වඩා භයානක මතක් බව තේරුම් නොයයි. ඒ බව තේරී දොරටු වහන්නට හදන විට අස්වයා පැන ගිහින් ය. ඉස්තාලය එතකොට වහන්න හැදුවාට වැඩක් නැත.

Posted in: Uncategorized