හිගා කෑම තහනම් කිරීම ද තුරන් කිරීම ද?

Posted on September 22, 2010



හිගා කෑම බොහෝ දෙනා කියන පරිදි රැකියාවකි. සමහරවිට ස්වයං රැකියාවකි. තවත් සමහරවිට ව්‍යාපාරයකි.

මෙයින් අනියමින් කියන්නේ මේ නිසා එක්තරා පිරිසක් එදාවේල හොයා ගන්නා බවත් ඒ නිසා ජීවත්වෙන බවත් ය.

ඇත්තටම මෙවැනි තවත් වෘත්තීන් තිබේ. පික් පොකට් ගැසීම ද හොරකම් කිරීම ද එවැනි දෑ ය. වෙනසකට ඇත්තේ උපාය මාර්ගයේය. නැතිනම් මේ සියල්ලෙන් කරන්නේ උපයා නොගෙන අනුන්ගේ සාක්කුවට බැසීම ය.

පික් පොකට් ගැසීම හා හො‍රකම් කිරීම තහනම් වුව ද හිගාකෑම තහනම්ව තිබුනේ නැත. දැන් ඒ සදහා සීමාවන් පනවා තිබේ. මේ ගැන විවිධ අය විවිධ දේ කියති. කවුරු කොහොම කීවත් අනුන්ගේ සාක්කුවට බැසීම ගැන මගේ මනාපයක් නැත. එහෙත් තහනමකින් මෙය ඉවත් කළ නොහැකිය යන්න ද ඒ සමගම මම තරයේ අදහමි. සිදුවිය හැක්කේ ස්වරෑපය වෙනස් වීමය. ස්ථානය මාරුවීම ය. දැන් දුම්රිය හා දුම්රිය පොළ වෙනුවට වෙනත් තැනක් මේ සදහා ‍තෝරාගැනීම ය.

හිගා කෑම නැතිබැරි කම නිසා උපත ලබන බව ජනප්‍රිය මතයයි. එහෙත් මට හිතෙන හැටියට නම් එය පවත්වාගෙන යා හැක්කේ පින් කැමති මිනිසුන් විසින් ඊට වෙළදපොළක් සපයා ඇති නිසා ය.

(හිගන්නන් නැතිවූ දවසක උන්ට දීමෙන් තමන් ලබා ගන්නාවූ පින සමාජයට අහිමිව යන්නේ ය.)

හිගා කෑමත් ඔය කියන තරම් පහසු රස්සාවක් නොවේ. අව්වේ කට්ට කාගෙන හිටිය යුතු ය. කකුල් කඩුත්තුව හැදෙනකම් ඇවිදිය යුතු ය. දුක්මූණක් දාගෙන දෙනකම් බලා සිටිය යුතු ය. නොදුන්නහම ඇතිවන වේදනාව විද දරා ගත යුතු ය.

බොහෝ දෙනා එයට ඇබ්බැහි වන්නේ එය පහසු නිසාම නොවේ.

ඇත්තටම කියන්නේ නම් වැයික්කියේ හයිකාරයින්ගේ අවසරය නැතිව හිගා කන්නට බැරි ය. ඒ සදහා ගාස්තු ගෙවිය යුතු ය. ඒ අතින් බැලුවහම වැයික්කියේ කුලී ගාස්තු ගෙවන්නට ද ව්‍යාපාරික හිගන්නන්ට සිදුව තිබේ.

ඒ සියල්ල ගෙවා ගෙන හිගා කන්නේ මේ රස්සාවේ ලාභ රේට්ටුව ඉහළ නිසා ය. වැටුප වැඩි නිසා ය. තමන්ගේ සුදුසුකම්වලට මීට වඩා හොද රැකියාවක් නොලද හැකි නිසා ය.

හිගන්නන් සමහර කලාපවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ තවත් ජනප්‍රිය රංග ශිල්පීමය අංගයක් මිසක ඒ සංකීර්ණ ප්‍රශ්නය විසදීම සදහා කරන බරපතල මැදිහත්වීමක් නොවේ.

පුලුවන් නම් හිගා කෑම තහනම් කරන නීති ගෙන එන ලෙස අප ආණ්ඩුවට අභි‍යෝග කරන්නේ එහෙයිනි. තමන්ගේ ඇති ශාරීරික දුබලතා නිසා කිසියම් රැකියාවක් සොයා ගැනිමේ අපහසුකම් තිබෙන අය කිසියම් ආකාරයකට ලියා පදිංචි කොට ඔවුන් සදහා විශේ‍ෂ රැකියා මාර්ග සපයා දීම ද එවැනි වැඩපිළිවෙලක කොටසක් ලෙස ඇතුළු කළ හැකි ය. අමතරව අප යෝජනා ‍කරන්නේ හිගන්නන්ට මුදල් දීමෙන් අනුග්‍රහ දැක්වීම ද නීතිය යටතේ වරදක් කළ යුතු බව ය.

එවැනි වැඩ පිළිවෙලකට නොයා මේ හදන්නේ ගැලවිජ්ජාවකට ය. ඒ නිසා ඒ සදහා අපේ අත්පොලසන් ලැබෙන්නේ නැත. හිගාකෑම නැති කිරීම හොද දෙයකි. ඊට මාවත මේ නම් නොවේ.

ඒ සදහා හිගා කෑම මුළුමනින් තහනම් කිරීමේ නීති මෙන්ම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් යෙදීම ද අවශ්‍ය ය.

මේ තත්වයට තල්ලුවක් දීමට සමාජයට හැකි ය. හිගා කෑමට අනුබල නොදී සිටීමට සවිඥානක තීන්දුවක් ගැනීමෙන් ය. මස්‍ නොකා හිටියොත් සතුන් මරන්නේ නැතිවා වාගේම හිගන්නන්ට අනුබල නොදෙන්නේ නම් හිගන්නන් ද තුරන්ව යනු ඇත්තේ ය.

පින් කැමති සමාජයකට එවන් අභියෝගයක් ජයගැනීම දුෂ්කරය. පින් මිලදී ගත හැකි වෙළදපොළ අහෝසි කිරීම පහසු කටයුත්තක් නොවන බැවිනි. ඒ නිසා හිගාකෑම සීමා කිරීම විනා තහනම් කිරීම එවැනි වෙළදපොලක අමාරු ය.

Posted in: Uncategorized