මඩකලපුවේ පිපිරීම – කර්තෘ කෙනෙකු රහිත නිසාම කර්ම කාරක භාෂාවෙන් ලිවිය යුතු ස්වයං සිද්ධියකි.

Posted on September 20, 2010



මඩකලපුවේ විශාල පිපිරීමක් සිදුව ඇති අතර එහි පරිමාණය හා ඒ මගින් ඇති කර ඇති කම්පනය බලවත් ය. එය සිදුව ඇත්තේ පොලිස් පරිශ්‍රය තුළ ය. ඒ නිසාම එහි බැරෑරුම්කම අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය.

ඒ පිපිරීම සිදුවූ වහාම හමුදා ප්‍රකාශක තැන කීවේ මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක්වත් දේශපාලන ක්‍රියාකාරිත්වයක්වත් නොවන බව ය. ඒ අනුව ඇත්තටම සිදුව ඇත්තේ හදිසි අනතුරකි.

අපේ රටට පේන කියන්නන්ගෙන් අඩුවක් නැති බව එයින් ද ඔප්පු වේ. මෙතරම් ඉක්මණින් කිසිදු පරීක්ෂණයකුදු නොපවත්වා ටක්කෙටම මෙවැනි නිගමනයක් දිය හැක්කේ පේන කියන්නන්ට පමණි.

එතරම් පැහැදිලිව තීන්දුවක් දී තිබියදීත් මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නට යයි. ඒ ජනාධිපතිතුමාගේ නියමය අනුව ය. ඒ තවමත් කුකුසකින් මේ දිහා බලන අප වැනි අය උදෙසා විය යුතු ය.

පරීක්ෂණයේ ප්‍රතිඵල අපට සිතා ගත හැකි ය.

මේ සම්බන්ධයෙන් ඇති එකම අවුල නම් පිපිරීමේ ප්‍රබලත්වය නිසා එය විසින් ප්‍රබල සාක්ෂිකරුවන් ඉතිරි නොකරවීම ය. ඒ නිසා මෙහි ඇත්ත කතාව අපට දැනගන්නට ලැබෙන එකක් නැත.

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයේ හා පරිහරණයේදී භාවිතා කළ යුතු ප්‍රමාණවත් ආරක්ෂක පියවර අනුගමනය කර නැතැයි ඒ අතර කියැවේ. ඒ සොයා ගැනීම කවුරුන් විසින් කවදා කළ එකක් දැයි යන්න ද හරිහැටි පැහැදිලි නැත.

මේ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ විවෘත ස්වභාවයක් ගනී ද නැතිනම් රහස්‍ය ස්වභාවයක් ගනී ද යනු තවමත් නිශ්චය නැත.

ජෙනරාල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න සම්බන්ධයෙන් බෝම්බ පිපිරීම ගැන ද බොහෝ කටකතා තිබේ. මේ පිපිරීම ද එවැනි කටකතා ඉතිරි කරනු ඇත්තේ ය.

(චීන්නු විසින් විහින් පුපුරවා ගන්නට ඇත් දැයි යන්න ද මෙහිදී බැහැර කළ නොහැකි  නමුත් මෙය විදී නාට්‍යයක් නම් විය නොහැක්කේ මිය ගිය හා තුවාල ලැබූ මිනිසුන් ද සිටින නිසා ය.)

හේතුව කුමක් විය හැකි වුව ද ශ්‍රී ලාංකිකයන් විසින් මේ සම්බන්ධයෙන් දැරිය යුතු දේශප්‍රේමී මතය වන්නේ මෙය හදිසි අනතුරක් බව ය.

මෙවැනි හදිසි අනතුරු නැවත ඇති නොවීමට රජය කුමක් කරන්නේ දැයි දැන ගැනීමට ඔවුන්ට අයිතියක් තිබේද යන්න හෙට අනිද්දා වන විට අපට දැන ගත හැකි ය. එතෙක් අපි වගකීමෙන් යුතුව ඉවසමු.

Posted in: Uncategorized