මම වෙන කවුරු ළගට යන්න ද දෙවියනේ? – Beyond Frame කතන්දරයක්

Posted on September 17, 2010



දේව ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටුනු මිනිසාගේ මුවින් පිටවූයේ බලවත් අදෝනාවකි. පුද්ගලයා අදුනාගත නොහැකි තරම් ඈත සිටින කෙනෙකුට වුව ඔහුගේ හැසිරීමෙන් හා නැගෙන අදෝනාවේ ස්ව‍රයෙන් එහි ඇති බරපතල කම හදුනා ගත හැකි වනවා නොඅනුමාන ය. හිස කෙස් කඩා දමමින් ද පපුවට ගසාගනිමින් ද ඔහු සිය කථාව වරෙක වේගවත්ව ද වරෙක නෑසෙන සිහින් ස්වරයකින් ද කියවා ගෙන ගියේ ය.

ඇයි දෙයියනේ මාව මේ ලෝකෙට බිහිකළේ? යැයි දැඩි ස්වරයෙන් නැගුණු අභියෝගාත්මක ප්‍රශ්නයෙන් මම මදක් පසුපසට විසිව ගියෙමි. දෙවියන් පවා ඉන් ගව්වක් දෙකක් ආ පස්සට විසිව ගියේ නැත්නම් ඒ පුදුමයෙකි. මද නැවතීමකින් පසු ඔහු නැවතත් යාදින්න පටන් ගත්තේ ය.

මං පුංචි සන්දියෙ ඉදන්ම දෙමාපියන්ට කීකරු වෙලා හිටිය. තාත්තා කසිප්පු ගොන්නක් බීලා ගෙදර ඇවිත් රණ්ඩු කරද්දිත් ගුටිබැට දෙද්දිත් මම තාත්තට වැන්ද. උන්දෑ කියන දේකට පිටින් ගියේ නෑ දෙයි හාමුදුරුවනේ.

ස්කොලෙදි වෙන එකෙකුගේ වැරැද්දකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උද්ධච්ඡ ගුරුවරයෙක් මට දවසක් නොසෑහෙන්න තැලුව. ඒත් මම කරබාගෙන ඉවසුව හාමුදුරුවනේ. අපට බොරුකරපු අපට තළලා සන්තෝස වුනු ගුරුකමට නිගා දුන්නු ගුරුවරුන්ටත් මම නමස්කාර කළා හාමුදුරුවනේ.

ගුරු‍න්ගෙන්වත් දෙගුරුන්ගෙන් වත් හරිහැටි මග පෙන්වීමක් ලැබුනෙ නැති නිසා ද එහෙම නැත්නම් මගේම කාළකන්නි කමට ද මන් දන්නෙ නැහැ මට ඉහළට ඉගෙන ගන්න ලැබුනේ නැහැ.

රස්සාවක් නැතිව ළතවෙද්දි රස්සාවක් දෙනවැයි කිව්ව දේශපාලන ලොක්කො පස්සෙ මාත් ගියා හාමුදුරුවනේ. උන්දැලගේ ඔක්කොම කිළුටු මං ‍හේදුවා. උන්ට ප්‍රශස්ති කිව්වා. උන්ව කරපිටේ තියාගෙන ගියා. අන්තිමේ දි කතිරෙත් ගහල මගේ විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ගේ කතිරෙත් උන් වෙනුවෙන් ගහල ‍උන්ව බලයට පත් කරන්න දර දිය ඇද්දා. මිනිහ දින්න. බලයට පත්වුනාට පස්සෙත් උගේ බැලමෙහෙවරකම් මුරකාරකම් හයිකාරකම් ඔය ඔක්කොටම මාත් සහභාගිවුනා.

අරක්කු බෝතලේට රුපියල් පනහට සීයට මම ඒ උන්දැට මගේ ආත්මය වික්කා. මම හිතුවෙ මට රස්සාවක් ලැබෙනවනම් ජිවත්වෙන්න ආදායමක් ලැබෙනව නම් කමක් නැහැ කියලයි.

දේශපාලකයෝ කොල්ලො කෙල්ලො දඩයම් කරන කොටවත් උන් කරන්නේ වැරැද්දක්ය කියල හිතන්න මට ශක්තියක්වත් ඕනෑකමක්වත් තිබ්බේ නැහැ. මට දැනටමත් ලැබෙන ලාභ ප්‍රයෝජනවලින් විතරක් නෙවෙයි ඉස්සරහට ලැබෙන්න යන ජොබ් එකෙනුත් මම අන්ධ වෙල හිටියෙ.

මම කරන්නේ වැරැද්දක්ය කියල හිතුන වාරත් තිබුන. ඒත් තව ගොඩක් අයත් ඒක කරනවය කියල මම හිත හදා ගත්ත. ස්ත්‍රී දූෂණ මිනීමැරුම් වංචා දූෂණ යන ඔය ඔක්කොටම ප්‍රසිද්ධවෙල හිටිය මගේ දේශපාලන හාම්පුතාට මිනිස්සු ගිහිල්ල පෝලිමේ චන්දෙ දුන්න. ඉතින් මං විතරක් ඌට විරුද්ධවෙල  මක්කරන්න ද? ඒ වෙලාවලට එහෙම හිතල මම හිත හදා ගත්ත.

මට අන්තිමේ රස්සාවක් ලැබුන. ඒත් ඒක ලැබෙන කොට මට ගොඩක් දේ අහිමිවෙලයි තිබුනෙ. වෙන එකක් තියා මට හිතන්න ශක්තියක්වත් ඉතුරුවෙල තිබුනෙ නැහැ. අණ දෙනවනම් පිලිපදින්නත් නැත්නම් නිකම් ඉන්නත් මම පුරුදු වුනා. මගේ හිතේ වරින් වර මතුවන පිළිකුළ මම මැඩගත්තේ බීල. නැත්නම් ගෑණීයෙක් හොයා ගෙන ගිහිල්ල බලෙන් හරි සල්ලි වලට හරි මගේ ඇග නිවාගෙන.

ලංකාවෙ මිනිස්සු මේ තරම් බොන්නෙ උන්ගෙ ජීවිත ඇතුළෙන් මතුවන ජුගුප්සාව සමහන් කොරගන්නය කියල පන්සල්වල ඉන්න හාමුදුරුවොවත් පල්ලියෙ ස්වාමියොවත් දන්නෙ නැතුව ඇති. මත්පැන් ප්‍රචාරය තහනම් කරල බාර් වහල අපිව මේ උවදුරෙන් ගලවගන්න ඒ අය කල්පනා කරනවා ඇත්තෙ ඒ හින්දා වෙන්න පුලුවන්. ඒත්මං දන්නව මගේ තියෙන කාළකන්නි හිස් බාවය මං පුරවගන්නෙ බීලා කියල. බිව්වෙ නැති දාට හිතන්න වෙනව. එක භයානකයි හාමුදුරුවනේ. එතකොට අතීතයෙ බියකරු අවතාර පේන්න ගන්නවා. මට ඒවත් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ.

කියපු නිසා මං කොළා. අනිත් එවුනුත් කරපු නිසා මාත් කොළා. මං ඒ දවස්වල හිතහදාගත්තෙ එහෙමයි.

ඒත් නොබී ඉන්න කොට මගේම ආත්මය මට කරදර කරනව. ඇයි කියපු නිසා කොළේ උඹටයි කියල මොළයක් තිබුනෙ නැත් ද ඇයි අනුන් කරපු නිසා කොළේ. උඹ රූකඩයක් ද? ඔය වගේ දාහක් ඕන නැති ප්‍රශ්න ඔලුවට එනව. ඒවා මාව හෙම්බත් කොරෝනව. එතකොට මට සියදිවි නහගන්න හිතෙනව. ලංකාවෙ මිනිසුන් බොන එකෙන් විතරක් නෙවෙයි සිය දිවි නහ ගන්න එකෙනුත් ලෝක වාර්ථාව තියන්න ඇත්තෙ ඒ නිසා වෙන්නැති.

අනිත් එවුන් කරන හැම දෙයක්ම කරන මම ඇයි සියදිවිනහගැනීමට විතරක් පහුබාන්නේ. ඇත්තම කියන්න දෙවියනේ අද මගෙ ලග මැහි තෙල් කුප්පියක් ගන්න තරමටවත් පිච්චියක් නැහැ. මැරෙන්න වුනත් ඕනවට වඩා දගලන්න මං ලෑස්ති නැහැ. අමාරු දේ කරලා පුරුද්දක් මට ඇත්තෙත් නැහැ. මේවා අහන ඕන කෙනෙක් කියයි මට පිස්සුයි කියල. මෙහෙම ගියොත් වැඩියෙන්ම පිස්සන් ඉන්න රට හැටියටත් අපේ රට කිරුළු පළදින්න පුළුවන්. මිනීමරාගන්නා එකෙත් වීරත්වයක් තියෙනව. බොන එකත් සිංහ පදමට එන්න බොන්න පුලුවන් නිසා පුංචි වීරත්වයක් ආරූඩ කර ගන්න පුලුවන්.  සියදිවිනසා ගැනීම, ඒකත් තරමක් වීරකමක් හැටියට අමාරුවෙන් තර්ක කරල පෙන්නල දෙන්න පුලුවන්. ඒත් පිස්සු වැටීම මොනම විදිහකටවත් වීර ජාතියකට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසාම අපේ මිනිස්සු බය වෙන්න පුලුවන්.

මං පුංචි කාලෙත් බයෙන් පීඩිතව සිටි ළමයෙක්. වැඩිහිටියෙක් හැටියට මං බොහෝ දෙනෙක්ව බයෙන් මුසපත් කරගෙන හිටපු මිනිහෙක්. ඉතින් බයවීම වගේම බය කිරීමත් මගේ ජීවිතයට එක වගේම හුරු යි.

දෙවියනේ මම ඔබතුමාව බියගන්වන්න හදනව නෙවෙයි. ඔබ ඇයි මේ සසල වෙලා. ඔබතුමා හොදටම වෙව්ලනව. ගලක් වගේ කිසිදෙයකට සංවේදී නොවූ ඔබ නිකම්ම මැටි පිළිමයකැයි මා සිතුවා. මගේ ජීවිතයට අධ්‍යත්මික පිටුවහලක් ඕන කරන වෙලාවෙ ඔබතුමා මග හැරිය. ඔබතුමා පිළිමයක් වගේ නිසොල්මනේ හිටිය. ඔබ මහා කම්මැලියෙක් ලෙසයි මා දුටුවේ.

පහුගිය දවස්වල අපි සෙල්ලමට වගේ විසිකළ බෝම්බයකින් පමණක් ඔබ සෙලවිය හැකිවනු ඇතැයි මා සිතුවා.

දැන් සසල වීම තේරුමක් නැහැ. සසල වන්නේ නැති කෙනෙකුට මගේ අදෝනාව කියන්නැයි මට ඕන කළේ. කරුණාකර අතීතයේ කළාක් මෙන් නිශ්ශබ්දව මා කියන්නක් අසන්න.

මට අඩන්න ඕනෑ…. ඒත් ඒක කරන්න හැටියක් නැහැ…දෙවියනේ හෙලන්න සුසුම් මට නැහැ…ඒ සියල්ල යුද්ධයෙන් තම දූ පුතුන් මියගිය අම්මලා විසින් රැගෙන ගොහින්…

මගේ කදුලු මට අහිමිව ගිහින්. යුද්දයෙන් මියගිය සෙබළුන්ගෙ අඹුදරුවන් ඒවා සොරාගෙන..

ඉතින් දෙයියනේ මම මොකද කරන්නෙ? මම හැමදාම මේ අසාධාරණ ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වුනේ අනුන්ගෙන්. හිතන්න කම්මැලි අනෙක් හැම එකෙක්ම වගේ..

මං ළගට ආවේ ඇයි කියල ද ඔය අහන්න හදන්නෙ? ඔබතුමාට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැති බව මං දන්නව. ඒත් මං වෙන කවුරුන් ලගට යන්නද දෙවියනේ!!!

ඒ අවසන් වදනත් සමගම මිනිසා දේව ප්‍රතිමාව ඉදිරියේ සිහිසුන්ව ඇද වැටුණි. මම තරමක් ලංවී අසරණයා කවුරුන්දැයි හදුනාගන්නට තැත් කළෙමි. දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. අන්දමන්ද වීමි. අසරණ වීමි. මට මා විශ්වාස නැත. සැක හැර දැන ගැනීමට මම වඩාත් නැඹුරුව බැලීමි. ඔබ විශ්වාස කරනු ඇත්දැයි මම නොදනිමි.

ඒ වැටී සිටියේ අපගේ ජාතියේ අධ්‍යාත්මයයි.

Posted in: Uncategorized