මිස්ටර් බීන්

Posted on September 10, 2010



මිස්ටර් බීන් මනා නිපුණත්වයකින් හෙබි නළුවෙකු අතින් මැවෙන චරිතයකි. හේ අපට අපටම හිනාවෙන්නට උගන්වයි.

අපි හිනාවෙන්නේ බීන්ට යයි අප හිතා හිටිය ද අප හිනාවෙන්නේ අපටම ය. අපේම කුඩුකේඩුකම්වලට ය. අමනකම්වලට ය. නොදැනුවත්කම්වලට ය.

ඒත් බොහෝ දෙනෙක් බීන්ට හිනාවෙන්නේ අනුන්ට හිනාවෙනවා යයි හිතා ගෙන ය.

අප බොහෝ දෙනෙකු අනෙකාගේ දකින්නේ අපේ නපුරු කමේ පිළිබිඹුව ය. අනෙකාට එරෙහිව අවි අමෝරාගන්නා බොහෝ දෙනෙක් උප විඥානයෙන් අරගල කරන්නේ තමන්ගේ නපුරට ය.

එයට හේතුව උන්ද අප වැනිය යන සිතුවිල්ල ය.

ඊට වෙනස් කෙනෙක් මුලිච්චු වුනොත් එතැන ඇතිවිය හැක්කේ අවිනිශ්චිත තාවයකි. අවුලකි. මිනිසුන් ඒවාට කැමති නැත.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගාන්ධි තේරුම්ගත නොහැකි චරිතයක් වූයේ එසේය. අංගුලිමාලට බුදුන් ප්‍රාතිහාර්යයක් වූයේ එසේ ය.

අඩමින් දිවි ගෙවන ලාංකික ගැහැණිය චිත්‍රපටය තුළ ද ටෙලිනාට්‍ය තුළ ද සොයන්නේ එවැනි ගැහැණියකි. අඩන ගැහැණුන්ට ප්‍රේම කරන අපේ පිරිමින් සොයන්නේ ද අඩන ගැහැණියකි. ප්‍රභාකරන් සතුරා ලෙස සෙව්වේ මහින්දව ය. රනිල් තේරුම් ගැනීමට ප්‍රභාකරන්ට අමාරු විය.

අප සමහර ඒවා මගහැර යන්නේ ඒවා තේරුම් ගැනීම දුෂ්කර වූ විට ය. ඒවා අපට ආගන්තුක වූ විට ය.

අප බ්ලොග් අඩවියට පිවිසෙන මිතුරන් මෙන්ම විරුද්ධවාදීන් ද අපට එක් හෝ තවත් ආකාරයකින් සමානකම් දක්වන උදවියයි. උන්ට අඩුවශයෙන් රට (නැතිනම් තමන් ඉක්මවන වෙනයම් ප්‍රපංචයක්) ගැන කැක්කුමක් (වෙනත් අස්ථානයක සිට හෝ) තිබෙන්නේ ය. ඒ නිසා උන් අපට බැණ බැණම අප සොයා එන්නෝ ය.

එහෙත් උන්ට අප තේරුම්ගැනීම දුෂ්කර ය. ඒ අප වඩා කැමති අපව අපේ කණ්ඩායම විවේචනය කරන්නට වීම ය. ඒ කාරණයේ දී අප හා උන් ආගන්තුකයින් ය.

පෙරමුණේ රාල වඩා කැමති මුස්ලිම් අන්තවාදීන් විවේචනය කරන්නට ය. අපට වඩා පෙරමුණේ රාලට උන් ළග ය.

මිස්ටර් බීන් අපට හදුන්වාදුන්නේ අප ගැන ඔරොප්පුවෙන් ලියූ ලෝකයා නම් සගයෙකි. මෙතරම් කතාවකට මග පෑදීම ගැන ඒ ලෝකයාට අපි ස්තුති කරමු. ඊළගට මිස්ටර් බීන් බලන විට තමන්ව පැත්තක තබා සන්සන්දනය කරමින් බලන්නට අපි අපේ සහෘදයන්ට ඇරයුම් කරමු.

චිත්‍රපටියකින් ද බොහෝ දේ උගත හැකි ය. මිස්ටර් බීන් ඒ අතින් හිතන්නට උනන්දු අයව හිතන්න පොළඹවන එවැනි චිත්‍රපටියකි.

ඒ තුළින් සමහර අයට බියොන්ඩ් ෆ්රේම් ද තවත් අයට තමන්ව ද පෙනෙන්නේ ඒ නිසා ය.

Posted in: Uncategorized