මොකෝ නොලියන්නෙ ව්‍යවස්ථා සංශෝධනය ගැන?

Posted on September 8, 2010



බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය අපෙන් අහනව. හැම දෙයක් ගැනම ලියන මේ භූතයා රටේ මෙච්චර දෙයක් වෙත්දි සද්ධ නැතිව මොකෝ කියල.

උත්තරය සරලයි.

රටේ ව්‍යවස්ථාවක් නීතියක් තියෙන බව ඇත්ත. ඒවා තියෙන්නෙ ලේඛනවල අකුරු හැටියට විතරයි. ක්‍රියාත්මක වෙන්නෙ කැලෑ නීතියක්.

එහෙම රටක ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ මහා ලොකු බක්කක් නොවෙයි.

මිනිස්සු තමන්ගෙ හෘදසාක්ෂිය උගස් කරපු රටක ව්‍යවස්ථාව තමන්ට වුවමනාවෙලාවට විතරක් පාවිච්චි කරන රජ කෙනෙක් ඉන්න එකත් පුදුමයක් නොවෙයි.

17 සංශෝධනය ක්‍රියාත්මක නොකළ රජ කෙනෙකු 18 සංශෝධනය ගේනව කියන්නෙම විහිළුවක්. ගේන්න දෙයක් නෑ. ඒකම තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. මේ රජ්ජුරුවෝ ‍තව තුන් පාරක් නෙවෙයි චිරාත් කාලයක් ඉන්නව. මේ රටේ ගොන්නු වැහිවැහැල නිසා. ඒක හොදින් හෝ නරකින් සිද්ධවෙන දෙයක්.

පුටින් අදටත් රුසියාවේ නිල නොලත් ජනාධිපති. ඒ ගැන නොදන්නෙ තොත්ත බබාලා.

ප්‍රශ්නෙ තියෙන ව්‍යවස්ථාවෙ නෙවෙයි. මිනිසුන්ගේ ඔලුවල. හෘදසාක්ෂියෙ.

ඒක වෙනස් වෙච්චි දවසක ව්‍යවස්ථාවෙ කොහොම තිබුනත් රජ්ජුරුවො ගෙදර.

මේක ගැන ලස්සණම කතාව කියල  තිබුනෙ මහින්දව රජකරවපු ජේවීපි එකෙන්. එක බත් පතක් කන ගමන් තවත් එකක් බෙදලත් තියෙද්දි තුන්වෙනි එකත් බෙදාගන්න එක ගැන දැන් තියා කඩිමුඩියෙන් කටයුතු කරන එකෙන්ම පේන්නෙ රජ්ජුරුවන්ගෙ කෑදර කමේ තරම.

මේක තේරුම්ගන්න බැරිව පෝලිමේ රජ්ජුරුවන්ට එකතුවෙන විපක්ෂයෙ ජන ගංගාවෙන්ම පේන්නේ අපේ රටේ ලජ්ජා නැති මිනිසුන් වැහිවැහැලා බවයි.

හෘද සාක්ෂියක් නැති මිනිසුන්ගෙ රටකට වඩාත් ඔබින රජෙක් අපට මුණ ගැහිල තියෙනව. ඉතින් ඒ රජා හෘදසාක්ෂිය නැවත ගොඩ නැගෙන තුරු රජකම් කරාවි. ව්‍යවස්ථාව තිබුනත් නැතත් ඒක තමයි මේ රටේ ඉරණම.

ඒ නිසා ව්‍යවස්ථාව මොකක් වුනත් අපට මොකෝ?

අපි ව්‍යවස්ථාව ප්‍රශ්න නොකලාට මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය දිගටම ප්‍රශ්න කරනව.

Posted in: Uncategorized