තහනම් ගහේ ගෙඩි

Posted on September 7, 2010



තහනම් ගහේ ගෙඩි ගණන් ය. හේතුව ඒ ගෙඩි තහනම් නිසා ය.‍ මරිජුවානා, කංසා පමණක් නොව ‍ගණිකා ඇසුර මත්ද්‍රව්‍ය හා සමහර දිනවලට පමණක් මත්පැන් ද ඒ ඝනයට වැටෙයි. මෙසේ වන්නේ තහනම නිසා වැඩි ආශික් එකක් ලැබීම හේතු කොට ගෙනම නොවේ. එය එක් හේතුවක් පමණකි.

එවන් ගෙඩි කැඩිය යුත්තේ පොලීසියට අහු නොවෙන පරිදි ය. ගෙඩි ප්‍රවාහනය කළ යුත්තේ ද හොර රහසේ ය. ගෙඩි විකිණිය යුත්තේ ද පරිස්සමෙනි. නැතිනම් ඒ සියල්ල කළ යුත්තේ පොලීසියේ අනුග්‍රහය යටතේ ය. එය ද හැමෝටම කරන්නට බැරිය. ඒ සදහා බලවන්තයෙකු විය යුතු ය. සල්ලි කාරයෙකු විය යුතු ය. ඒ දෙකින් එකක් පාවිච්චි කර එක්කෝ පොලීසියේ ඇසට වැලි ගැසිය යුතු ය. නැත්නම් පොලීසිය සමග හවුල්ව එම කටයුත්ත සමාදානයෙන් සිදු කළ යුතු ය. ඒ හැම එකක්ම සාමාන්‍ය වෙළදාමක් කරනවාට වඩා අමාරු ය.

අවදානමක් ඇති ඕනෑම ව්‍යාපාරයක් හා නිදහස් තරගයක් නැති ඕනෑම ව්‍යාපාරයක් අධික ලාභ ලබන්නේ ය.

සැපයුම අඩු වුනහම ඊට වැඩි මිලක් ගෙවන්නට සිදු වීම ආර්ථික විද්‍යාවට එකග ය. ඒ පමණක් නොව ඒකාධිකාරයක් පවතින විට ද ගෙවන්නට වෙන මිල වැඩි ය.

පෝදාට අරක්කු ගන්නට බැරි යයි කියන්නේ නොදන්නා අය ය. ඇත්තටම පෝදාට සිදුවන්නේ එහි මිල වැඩි වීම ය.

ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් ද ගබ්සාව සම්බන්ධයෙන් ද මේ තත්වය එසේම ය. (කොස් ඇතුළු තහනම් දැව වර්ග සම්බන්ධයෙන් ද තවත් තහනම් බොහෝ දේ සම්බන්ධයෙන් ද තත්වය ඊට වෙනස් නැත. ඒත් ඒ තහංචි සදාචාරාත්මක තහංචි නොවන නිසා වෙනම කතා කළ යුතු ය). ඒවා එලිපිට නැත. එහෙත් පාතාල ලෝකයේ ඕනෑ තරම් ඇත. පාතාලය තියෙන්නේත් මේ ලෝකයේම හැංගුණු ඉසව්වකම නිසා ඔය කියන තරම් අපහසුවක් නැතිව ඒ සියල්ල ගත හැකි ය.

එහෙත් පාතාලය පාලනය කිරීමට පවතින ආයතන ව්‍යුහයට බැරි ය. ආයතන ව්‍යුහයට පාලනය කළ හැක්කේ එලියේ ඇති දේවල් පමණක් බැවිනි. ඒ නිසාම පෝයදා අරක්කු බොහෝ විට මිශ්‍ර ය. ගබ්සා කරන්නේ හොර දොස්තරලා ය. එම ස්ථාන මූලික සෞඛ්‍ය තත්වයන්ගෙන් පවා තොරව ය. ගණිකා නිවාස යනු නොදැනුවත් ගණිකාවන් විසින් සමාජයට රෝග පතුරුවන ලෙඩ පැක්ටරි ය.

තහංචි ගණනින් විසාල වුනහම පාතාලය විසාල වෙයි. පාතාල‍ය විසාල ආදායම් ලබන එකක් වුනහම එය සාමාන්‍ය ලෝකය පවා පාලනයට ගන්නා තත්වයට වැටේ. මාෆියා බිහිවෙයි.

මේ සදහා එක් විසදුමක් වන්නේ මේවා නීත්‍යානුකූල කොට කිසියම් පාලනයකට යටත් කිරීම ය. ඊට සමාන්තරව මේ ඇබ්බැහිවීම්වලින් මිනිසුන් ගලවා ගැනීමට වඩා කාර්යක්ෂම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ය. ඒ සදහා ඒවායින් අය කරන බදු මුදල්ම යොදා ගැනීම ය.

අප කී ඇබ්බැහි වීම්වලින් බො‍හෝමයකින්, තමන්ගේ උත්සහයෙන් පමණක්, ගැලවීමට ඇබ්බැහිවූවන්ට බැරි ය. ඒ සදහා යම් පිටුවහලක් අවශ්‍ය ය. පුනරුත්ථාපන කදවුරු පවත්වාගෙන යමින් ද සමාජය දැනුවත් කරවීම මගින් ද ඒ සදහා මැදිහත්වීම ‍ඒවා එලියේ තහනම් කොට පාතාල ගත කරනවාට වඩා අමාරු ය.

නීතියක් පැනවීම අකුරු ටිකක් ලිවීමෙන් කළ හැකි ය. ඒ නිසා තහංචි පැනවීම ලෝස් නැතිවම කෙරෙයි. එතකොට නිර්මාණය වන පාතාලයේ යෝධ ව්‍යාපාරිකයෙකු වීමට ඒ තහංචි පනවන්නටම පුලුවන.

මත්පැන් සදහා බලපත් මතට තිත තියන අය ලගම පවතින්නේ එසේ ය. පාතාලයේ ඇසුර හා සහය වඩාත් ලැබෙන්නේ දේශපාලනඥයින්ට හා පොලීසියට බව නොදන්නේ බබ්බු පමණක් වන්නේ ද එහෙයිනි.

දියුණු සමාජයන් මේ ඇබ්බැහිකම්වලින් මිනිසුන් මුදවා ගැනීමේ දි තහංචිවලට වඩා සඵල ක්‍රම යොදා ගනී. අපේ වැනි රටවල් නීතිය හරහා දමන තහංචි මගින් මේ තහනම් ගෙඩිවලට නැති මාකට් එකක් හදා දෙයි.

කරනවා නම් ඔන්න බිස්නස්!

Posted in: Uncategorized