මර්වියාව කොපි කිරීම නොහොත් අලුත්ම වීදි නාට්‍යය

Posted on September 6, 2010



ගස් බැදීම ජයටම කෙරෙන පාට ය. ඇත්තටම පුදුමය මේ තත්වය යටතේ එහෙම නොවෙනවා නම් ය. තරුණයෙකු පිලිබදව විමසා සිවිල් ආරක්ෂක අංශය වෙත පැමිණි තරුණියක් මෙසේ ගස් බැද තිබේ.

ඕනෑ නැති ප්‍රශ්න ඇහුවහම සිදුවන්නේ කුමක් දැයි මේ තරුණිය දැනගෙන සිට නැත.

මිනිසුන් අතුරුදහන් වීම්ත් ප්‍රශ්න කරන්නට තරම් දෙයක්ද?

ඒ බව මේ ගස් බැදීම නිසාවත් මේ රටේ මිනිසුන් දැන ගන්නවා නම් හොද ය. ඉදිරියේ ඇතිවන තවත් දඩුවම්වලින් බේරීමට තරුණියට මාවතක් ඇත්තේ ය. ඒ තමන් විහින්ම ගස් බැදගත් බව දිවුරුම් පෙත්සමකින් දන්වා සිටින්නට ය.

එතකොට බැදපු එකාත් නිදහස් ය. තරුණියත් නිකම් අත පුච්චාගන්නේ නැත. අතුරුදහන් වූ තරුණයා ගැන ඇල්මක් තිබේ නම් හත් දොහක් ගතවීත් නාවොත් තියෙන්නේ දානයක් දෙන එක ය. උත්පත්තිය ලැබූ තැනක හොදින් ජීවත්වීමට එයින් පින් අනුමෝදන් කළ හැකි ය.

ඇත්තටම මෙවැනි කෙළින් පාරවල් තිබෙද්දී මේ ගෑණු යන්නේම ඇදේය.

අපේ රජතුමාට දිගින් දිගට බලය ලබා දෙන්නට පාර කැපීගෙන යන මේ කාලයේ මෙවැනි අලුගුත්තේරු වැඩ නොකර ඉන්නවා නම් හොද ය. නැත්නම් වෙන්නේ වැඩේ ඉවර වෙනකම් රිමාන්ඩ් කරන්න ය. එය ගස් බදිනවාට වඩා අමාරු වෙන්නට පුලුවන.

අපේ රණවිරුවන් කොටියාට එරෙහිව කළ කාර්යය දැන් බොහෝ දෙනෙකුට අමතක ය. මර්වින් නම් වසවර්තියා අත්අඩංගුවට නොගත් පොලීසිය මේ රණවිරුවා සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති ආකාරය අපට නම් අනුමත කළ නොහැකි ය. අප කියන්නේ මේ ගැන නඩුවක් අසනවා නම් ඒ කාර්යය රටේ අධිකරණය විසින් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව විසින් කළ යුතු බව ය.

නැත්නම් රණවිරුවන්ගේ මානව හිමිකම් කැඩීම ගැන‍ කෝප වී මානෙල් මල් ව්‍යාපාරයේ නියමු විමල් වීරවංශ උපවාසයක් කරන්නට බැරි නැත.

රජ්ජුරුවන්ට තුන්වෙනි ඉනීමක් තරග කරන්නට ඉන්නා මොහොතක එහෙම එකක් වුනොත් අංජබජල් ය.

(මට පේන්නේ මේක කුමන්ත්‍රණයක් -සමහරවිට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්- විය හැකි බව ය.)

Posted in: Uncategorized