සෞදියේ යකඩ ඇණ පළහිලව්ව

Posted on September 3, 2010



සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට යකඩ ඇණ ඇතුළු කර නිහීන වද හිංසා කළැයි කියන පුවත සෞදි රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

මේ පිළිබද විශේෂ ප්‍රකාශයක් කරන සෞදී රාජ්‍යයේ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ සෞදිරාජ්‍ය අවමානයට පත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවත් ඊට ලංකාව සහයෝගය දැක්වීම ගැන තමන් කණගාටුවන බවත් ය.

මේ පිළිබද වැඩිදුරටත් විස්තර කළ මාධ්‍ය ප්‍රකාශකයා ඇතැම්විට මේ කාන්තාව විසින්ම තමන්ගේ සිරුරට මෙසේ යකඩ ඇණ ඇනගෙන එහි වරද සෞදි ජාතිකයෙකුට පැටවිමේ නිහීන උත්සහයක යෙදෙනවා වන්නට පුලුවන්ය යන කතාව ද බැහැර කළ නොහැකි යයි කියා සිටියේ ය. ලංකාවේ මිනිසුන් මෙසේ විහින් තමන්ට තුවාළ කර ගැනීම ගැන වාර්ථා පිට වාර්ථා තබා ඇති රටක් බව ‍මුළු ලෝකයම දන්නා කරුණක් යැයි ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කරන්නේ නම් ඊට ඉඩ දෙනවා දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ප්‍රකාශකයා කීවේ තමන් ඒ පිළිබද සෞදි නිලධාරින්ගෙන් සමන්විත අපක්ෂපාත කමිටුවක් පිහිටුවන්නට බලා ‍පොරොත්තුවන බව ය. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට හේතුවක් නැති බව ය. ඒ සමගම ඔහු කීවේ සෞදි රජය කිසිදු ආකාරයක ‍ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව ය.

මේ අතර සෞදි රජතුමා කියා සිටියේ තම රටේ පුරවැසියන්ට මෙසේ ජාත්‍යන්තරය මැදිහත් වී අච්චු කරන්නට සූදානම් වන්නේ නම් ඊට විරුද්ධව තම ජීවිතය වුවද පූජා කිරීමට තමන් සූදානම් බව ය.

සෞදියේම සමහර දේශද්‍රොහීන් මේ පිටුපස සිටින්නේ දැයි සෞදි රහස් පොලීසිය පරීක්ෂා කර ගෙන යන අතර එහෙම හෝඩුවාවක් ලැබුනොත් උන් එල්ලන්නේ රියාද් නුවර මැද යයි එහි ආරක්ෂක ලේකම් විසින් පවසා ඇත.

සෞදි රජයේ මේ ස්ථාවරය පිළිබද ලංකාණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්විය හැකි දැයි අපේ පාරේ මුණ ගැසුණු බ්ලොග් සහෘදයින් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කළ අතර ලැබුණු පිළිතුරු මෙසේ ය.

මැද පෙරදිග රැකියා නැතිව ගියහොත් ඇගලුම් කර්මාන්තයටත් කණකොකා හඩා ගෙන එන කාලේ වෙන්නේ අකරතැබ්බයකි. ඒ නිසා වැඩි පූච්චානම් කතා නැතිව ගිය දේ ගියා යයි හිත හදා ගැනීම ආණ්ඩුවට ඇති එකම විකල්පයයි.

ඇණ ඇගේ ගසා ගැනීම පමණක් නොව එසේ ගසා ගත් ඇණ වලින් එල්ලී සිටීමට ද අපේ අය දක්ෂය. ඒ නිසා මේ කාරණය ඒ හැටි ගණන් ගත යුත්තක් නොවේ. ආණ්ඩුව ද මෙය ඒ අර්ථයෙන් සිතා බැහැර කරනු ඇත.

ඇත්තටම ආණ්ඩුව මෙහිදී පියවරක් ගැනීම මග හරින තව කාරණයක් තිබේ. ඇත්තටම මෙයත් වේදිකා නාට්‍යයක කොටසක් යැයි ආරියවතී  දිවුරුම් පෙත්සමක් දුන්නොත් ආණ්ඩුවට වන්නේ වහකෑමට ය. ඒ නිසා ද තවත් කල් ගැනීම හොද ය.

මේ කරුණු අනුව පෙනීයන්නේ ආරියවතී  නෝනාහට සෞදියෙන් වන්දියක් ලබා ගැනීමේ ඉඩකඩක් නැති බවත් තමන්ගේ ආරක්ෂාව තමන්ම සළස්වා ගැනීම සදහා මැදපෙරදිග යන කාන්තාවන් විසින් තිස්තුන් කෝටියක් දේවතාවුන්ට භාරහාර පුද පූජා කළ යුතු  බවත් ය.

Advertisements
Posted in: Uncategorized