සිංහල බ්ලොග් අවකාශයේ සැරිසැරීමි.

Posted on August 28, 2010



සිංහල බ්ලොග් අවකාශයට පිවිසුනෙමි.

එක් අයෙක් විභාගයට පාඩම් කරනවා වැනි දෙයක් කරමින් සිටියේ ය.

“මයන්න… ඩයන්න…වයන්න…ලයන්න …වදමල”

මට වැරදුනාවත් ද නැවතත් සවන් දුනිමි. එක පාරක් නොව මන්තරයක් මෙන් මතුරන මෙය මට ඇහෙන්නේ නම් එහෙම ය.

“මලයො පොඩ්ඩක් වැරදිලා නේ ද?”

මිනිසා මගේ පාදාන්‍තයේ සිට කේසාන්තයට මා දවා අළු කරන සුළු බැල්මක් හෙලුවේය.

“නෑ මට කියවුනේ වද මල නෙවෙයි මඩවල කියල”

“තමුසෙ දන්න මගුල… මලක් තියෙන තැන තමුසෙට මඩවලක්ම තමයි පේන්නෙ. තමුසෙල අන්ධ ‍යි. හිතේ තියන මඩ මිසක් ලෝකේ තියෙන දේ කොහොම ද අන්ධ උන්ට පේන්නේ.”

සහෘදයාට නප්පියට නැගලා ය.

“පටන් ගන්න අකුර බලන්න. ම..” ටිකක් බය පක්ෂපාත කමක් දක්වා කීවෙමි.

“අකුරෙ මොනව බලන්න ද? මේ එහා පැත්තෙන් තියෙන රූපෙ බලනවකො. ඔය අපූරුවට තියෙන්නෙ වද මල”

රූපෙ නම් තියෙන්නේ වදමලකි. එය ඇත්ත ය. ඒත් අකුරුවලින් කියවන්නේ නම් එය කියවිය යුත්තේ “මඩවල” ලෙස ය. දැන් මේ කියවන්නේ අකුරු ද රූපෙ ද? එසේ අසන්නට සිතුන ද මම මොහොතකට ගොලුවී නිකම් සිටියෙමි.

“ඇයි කතා නැත්තෙ?”

කතා කළත් වැරදි ය. නොකළත් වැරදි ය. පුරුෂාධිපත්‍යයට යට වූ බිරිදකගේ තත්වයට මා හදිසියේම වැටී ඇත.

“නෑ මං මේ ආයි කියවනව.”

“තමුසෙට නම් ඕයි ඕක දහස් පාරයක් කියෙව්වත් තේරුම් ගන්න නම් බෑ.”

මා වැටී සිටියේ අමාරුවක ය.

“මං හිතන්නෙ ඔබ හරි ඇති. මං ගොහින් එන්නම්.” කතාව අවසන් කරන්නට කැමති බව අගවමින් කීවෙමි.

“අයිසෙ එහෙමත් මාරු වෙන්න පුලුවන් ද?”

වැඩේ දැන්නම් දෙල් ය. චුත වෙන්න පුලුවන් නම් හොද ය. කොහෙද ධාන්‍යවත් වඩා නැති භාවනාවකවත් යෙදී නැති මා කෙසේ චුත වන්න ද?

වැටී ඇත්තේ පුංචි අමාරුවක නොවේ ය. වැරැද්දක් කොතරම් බල කළ ද නිවැරැද්දක් බව කියන්නට දිව නැමෙන්නේ නැත. හැම පැත්තටම පහසුවෙන් නැමිය හැකි දිවක වටිනාකම මට දැන් පසක් වෙමින් තිබේ.

කොන්ද නැමිය නොහැකි ලෙඩක් මට තිබේ. දැන් බලාගෙන ගියහම දිව ද නැමිය නොහැකි ය. මේ විදිහට ගියොත් නම් නවතින්නේ ගල්වෙලා ය. එක අතකට මෙහෙම ජීවත්වෙනවාට වඩා ගල් වෙන එක හොද ය.

Posted in: Uncategorized