අපේ වැරදි හා උන්ගේ වැරදි

Posted on August 26, 2010



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් කරන ලද අක්‍රීඩක වැඩක් අපි පෙන්වා සිටියෙමු. ඒ වැරැද්ද පිළිගෙන ඒ ගැන සමාව අයැදීම ගැන අපි අපගේ ක්‍රිකට් පරිපාලනය අගැයීමු.

(එයිනුත් නොනැවති ඒ ක්‍රියාව කළ අයට දඩුවම් දීමට ද පරිපාලනය ඉදිරිපත් වීම ගැන අපි අපේ ගෞරවය ද අද පළකරමු.)

අපගේ එම සටහනට හැරෙන තැපෑලෙන් උත්තර ආවේ ය. ඒ යූ ටියුබ් වීඩියො පටියකිනි. ඒ පටයේ ඉන්දියානු නායක ද්‍රෝණි විසින් උඩ පන්දුවක් නොවන එකක් උඩ පන්දුවක් ලෙස පෙන්වා එංගලන්ත ක්‍රීඩකයෙකු දවා ගන්නට කළ නිහීන උත්සහයක් දක්වා තිබිණි.

අප අක්‍රීඩක වී ඇත්තේ එහෙව් අක්‍රීඩක ඉතිහාසයක් ඇති කණ්ඩායමකට ය. ඒ නිසා අපේ වැරැද්ද බරපතළ නැත.

අප අගෝස්තු 22 දින දෙමළ ජාතිකයින් සුද්ද කිරීම සදහා ඉලක්ක කර ගත් දුම්රියේ සිදුවන මෙහෙයුමක් ගැන තොරතුරු දැක්වීමු.

අපට හැරෙන තැපෑලෙන් උත්තර ආවේ දෙමලුන් හා මුස්ලිමුන් සිංහලයන්ට එරෙහිව වැඩ කරනවායැයි කියන තොරතුර ය. ඒවා නියත වශයෙන් හදුනාගැනීමට පවා නොහැකි අපැහැදිලි කාරණාවීම අතුරු කාරණයකි.

ඇත්තටම ඒවායේ අභිලාෂය වූයේ පින්තූරය සම්පූර්ණ කිරිම නම් ඒ පිළිතුරුවල යම් වටිනාකමක් ඇතැයි හිත හදාගන්නට පුලුවන. එය එසේ යයි මොහොතකට උපකල්පනය කළ ද අපට දැනෙන හැටියට ඒවායින් සිදුවෙන වෙනත් නපුරක් තිබේ. ඒ මේවා ලංකාවට පමණක් සිංහල ජාතියට පමණක් ආවේණික නැති බවත් ඒ නිසා මේ ගැන ඒ හැටි කලබල විය යුතු නැති බවත් එයින් අනියමින් කියවෙන නිසා ය.

අපේ වැරැද්දක් පෙන්වූ විට එය හදා ගන්නේ නැතිව අනෙකාට ද ඒ වැරැද්ද ඇතැයි පෙන්වීමෙන් සිදුවන්නේ වැරැද්ද සාධාරණීය කිරීම ය.

ලෝකය ලස්සණ වනුයේ එසේ වැරැද්දක් පිළිගෙන හදා ගන්නට අප උත්සුක වූ දාට ය. අනෙකා ද අප වැනි යයි පෙන්වමින් අනියමින් අපේ වැරැද්ද සාධාරණීකරණය කරන්නේ නම් කිසිදා ලොව වෙනස් කළ නොහැක්කේ ය.

අප වැරදි නොවේ නම් අනෙකාගේ වැරැද්දක් පෙන්වීමට අවශ්‍ය සුජාත භාවයක් ඒ සමග අප ලගා කර ගන්නා බැවිනි. අපට අනෙකාගේ වැරැද්දක් පෙන්විය හැක්කේ අප නිවැරදි වුනොත් බැවිනි. ඒ සදහා අවශ්‍ය වැඩ කොටස කිරීම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දැරිය යුතු  මග හැරිය නොහැකි යුතු කමෙකි.

එය අනෙකාගේ වැරදි හොයා ඌට ගරහනවාට වඩා අමාරු ය.

(පුංචි පරහක් ඇත. බොහෝ දෙනෙකුට මේ කියන අනෙකා කවුදැයි වැටහීමක් නැතිවීම ය. ඒ නිසාම ඒ ගැන ද කිවයුතු ය. මා සිංහල නම් අනෙකා සිංහල නොවන අය ය. මා ලාංකිකයෙකු නම් අනෙකා ‍විදේශිකයින් ය. මා බුද්ධාගම අදහන්නෙක් නම් අනෙකා සෙසු ආගම් අදහන හෝ ආගම් නොඅදහන අය ය. මා කැමති මා අයත් කොටස විවේචනයට අසු කර ගැනීමට ය. මගේ ආණ්ඩුව මා විවේචනය කරන්නේ ද ඒ නිසා ය. මා සැරවැර දමා ‍‍හෝ හදා ගත යුත්තේ මගේ දරුවන්ව ය. බොහෝ දෙනෙකුට නොතේරෙන මේ අස්ථානය අපි දිගින් දිගටම අනුගමනය කළෙමු. ඉදිරියට ද එයම අනුගමනය කරමු. ජනප්‍රිය වීමේ මාවත වැටී ඇත්තේ ඒ හරහා නොවීම අපට ප්‍රශ්නයක් නොවේ. ඒ අප බියොන්ඩ් ෆ්රේම් නිසා ය.)

මේ සටහන ලිව්වේ කාලි අම්මා කෝවිලේ ප්‍රශ්නයට පෙර ය. එහෙත් කාලි අම්මා කෝවිලේ කටයුත්ත මතුව ආ නිසා මේ සටහන පළ කිරීම කල් දැමුවෙමු. එහෙත් කාලි අම්මා කෝවිලේ සිද්ධිය ගැන ඇතිවූ සංවාදය නිසා මෙවැනි සටහනක අවශ්‍යතාවය වඩාත් මතු වූයේ ය.

කාලි අම්මා කෝවිලේ සත්ත්ව ඝාතනයට විරුද්ධ වීමේ බර හින්දු භක්තිකයින් විසින් දරනවාට අප කැමති ය. මේ සත්ත්ව ඝාතනය වැළැක්විමට සැබෑ අභිලාෂයක් ඇති අය විසින් කළ යුතුව තිබුනේත් කළ යුතුව ඇත්තේත් එවැනි මැදිහත්වීමකි. එයින් බාල ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැත. ක්‍රෙඩිට් එක ලැබෙන්නේ ද නැත. එහෙත් මේ බිලිපූජාව නැවැත්වීමට එයින් වඩාත් ස්ථිර සාර අනුබලයක් ලැබෙන්නේ ය. අනවශ්‍ය ගැටුමක් ද විරසකයක් ද මග හැරී යන්නේ ය.

ඊට සමානව පුංචි දරුවන් මහණ කිරීමේ අපචාරය පිළිබද විරෝධය පළ විය යුතු වන්නේ බෞද්ධ අප කෙරෙන් ය. එය වෙනත් ආගමිකයෙකු විසින් මතු කළ විට එතැන විරසකයකට කාරණා යෙදෙන බැවිනි.

පහසුවෙන් ඇවිලවිය හැකි ආගමික ගැටුම් මේ දේශයට අවශ්‍ය නැත. දැන් අපට ඇත්තේ ලැබී ඇති ඉස්පාසුව ප්‍රයෝජනයට ගෙන මේ නරාවලෙන් ගොඩ ඒමට ය. අලුත් නරාවලවල් සොයා යෑමේ තේරුමක් නැත.

ඒ සදහා ඉදිරිපත් වූ ආණ්ඩුවට ද පොලීසියට ද අප මල් මිටක් පිදුවේ එබැවිනි.

Posted in: Uncategorized