රට කරවන අයට දෙන්නට කියා ජනතාවගෙන් සල්ලි එකතු කිරීමේ සෙල්ලම

Posted on August 24, 2010



අගෝස්තු 20 දා හිටපු මන්ත්‍රීවරයෙකුගේ දුවණියක් ළමයෙකු පාසල දා ගැනීම සදහා ජනාධීපති ආර්යාවට දීමට යයි කියා කෙනෙකු රවටා මුදල් ගෙන පොලීසිය විසින් අල්ලා ගන්නා ලද්දේ ය. අගෝස්තු 21 දා අසුවී ඇත්තේ විමල් වීරවංශ ඇමතිතුමාට දෙන්නැයි කියා වංචා කර මුදල් උපැයූ අම්මණ්ඩි කෙනෙකි.ඒ රැකියා ලබා දීමේ පොරොන්දුව පිට ය.

විදේශ රැකියා ලබා දෙනවා යයි පොරොන්දුවට පිට මුදල් වංචා කර ඇති අයගේ සීමාවක් නැත. පොදුවේ ලංකාවේ මිනිසුන් තමන් රැවටෙන එකේ ද අනුන් රවටන එකේ ද සීමාවක් නැති බව අප කලින්ද බ්ලොග් සටහනක ලීවා මතක ය.

එහෙත් අප සටහන ආරම්භයේ කළ එළිදරව්ව ඊට වඩා දරුණු ය.

මෙසේ වංචා කිරීමට පුලුවන් වී ඇත්තේ ද වංචාවලට මේ ආකාරයට මිනිසුන් අසුවන්නේ ද ඉහළ දේශපාලන නායකත්වය මෙවැනි වංචනිකයින් යයි ජනතාව අදහන නිසා ය. විශ්වාස කරන නිසා ය. එය යහපත් නැත. ඒ තත්වයට ජනතා මනස පිරිහීම රටේ කීර්ති නාමයට, එහෙම එකක් තවදුරටත් ඉතිරිව තිබේ නම්, හොද නැත.

අනුමානයන් මත මිනිසුන්ට චෝදනා කිරීම අපගේ සිරිත නොවේ. එනමුදු ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතැයි අප අසා ඇති කතාව මෙහිදී මතක් වීම මගහැරිය නොහැකි ය.

මිනිසුන් අනුමාන හදා ගන්නේ තමන්ට ලැබෙන ඉගි හා තොරතුරු නිසා ය. සහසුද්දෙන් කිව නොහැකි වුව ද සමහර අනුමානයන් ඇහින් දැක්කා තරමට ප්‍රබල වන ඉගි රට තුළ දැක ගත හැකි ය. සමහර දේශපාලනඥයින් හදන මන්දිර යනෙන වාහන මෙවැනි ඉගි ජනතාවට ලබා දෙන්නේ ය. ඔවුන්ගේ ජීවන චර්යාව ඔවුන් කරන වියහියදම් එවැනි ඉගි ලබා දෙන්නේ ය.

ඔවුන්ගේ උදව් ලැබ අවස්ථාව උදාකර ගත් අය ඒවා පාරම්බා කියන විට ද ඒවා අත්තටු ලැබී විසිර යන්නේ ය.

අල්ලස් හා දූෂණ කොමිසම අකර්ණම්‍ය වීමට ඉඩ දී බලා සිටින විට ද මිනිසුන් බොහෝ දේ කල්පනා කරන එක වළක්වන්නට බැරි ය. ඒ කොමිසමේ යල්පැන ගිය වැඩ ටික කිරීම සදහා අගරුවී ඇති පොලිස් නිලධාරීන් පත් කරන විට ඒ අනුමානයන් තවදුරටත් ඇත්ත යයි හැ‍ගේ.

ඔයිට වඩා දෙයක් අපට කියන්නට බැරි ය. වුවමනාත් නැත.

මේ සල්ලි දෙන මිනිසුන් බොහෝ දෙනෙකුට නම් දැනගන්නට අවශ්‍ය එකම දෙයකි. ඒ සල්ලිවලින් තම අදහස මුදුන්පත් කරවා ගැනීමට හැකි ද එසේ නැතිව තමන් වංචාවකට අහුවෙයි ද යන්න ය. එය පිරිසිද දැනගැනීම සදහා නම් ඇත්තේ එකම මගකි. මියෙම්වා රැකෙම්වා යයි සිතා කෙළින්ම අදාළ පුද්ගලයා මුණ ගැසී මුදල් දෙන එක ය. ඒ සදහා උන්ට දිරිය ලැබේවා මාර්ගයත් පෑදේවායි අපි පතමු.

Posted in: Uncategorized