දෙමල ජනතාව දෙමල වීම නිසා මුහුණ දෙන ප්‍රශ්න

Posted on August 22, 2010



රහස්‍ පොලීසියේ වේශයෙන් පෙනී සිටිමින් උතුර බලා යන දෙමළ ජනතාව දුම්රියේ දී සුද්ද කරන අවස්ථාවාදීන් කීප දෙනෙක් අසු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි කියමින් රහස් පොලීසියේ බවට අනන්‍යතාවයක් පෙන්වා ඊ‍ළග දුම්රිය ස්ථානයෙන් බස්සවා ගෙන සියලු රත්තරන් හා මුදල් ගෙන කුවින්තාසයක් ද නිකුත් කොට ඒවා ගැනීම සදහා අහවල් දින රහස්‍ පොලීසියේ පෙනී සිටින ලෙසට කියා රගදක්වන මේ සෙල්ලම අතිශය සූක්ෂම ලෙස කරගෙන ගොස් තිබේ.

මේ සෙල්ලමේ නියුතුවූවන් සතුව මේ සම්මජාතියේ මේ මිනිසුන් තම භාණ්ඩ ඉල්ලමින් රහස් පොලීසියට නම් නොයන බවට දැක්මක් තිබූ බව නම් සහතික ය.

මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරිමෙන් පලක් නැතැයි යන හැගීම එම ජනයා තුළ ඇති නිසා පැමිණිල්ලක් පවා කර නැති බවත් ඒ නිසාම මේ අවස්ථාවාදීන්ට තම සෙල්ලම කරදරයකින් තොරව කර ගෙන යාමට හැකිව තිබූ බවත් මෑතකදී මේ ගැන සැක සිතුනු දෙමළ ජාතිකයින් දෙදෙනෙකුගෙන් ලද ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුනු පොලීසිය මේ ගැන සොයා ගෙන ඇති බවත් සන්ඩේ ටයිම්ස් පත්‍රය අගෝස්තු 15 දා වාර්ථා කළේ ය. මේ සෙල්ලමට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ද සම්බන්ධවී ඇතැයි ද පර්යේෂකයින් සොයා ගෙන ඇත. එය අමතර ප්‍රවෘත්තියක් හැටියට ‍කියවෙන්නට හැර තිබේ.

දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ප්‍රශ්නයක් නැතැයි පිළිගන්නට අසමත් මිනිසුන්ට ‍මේ කතාන්තරය ද මේ පොලීසියම සොයා ගෙන ඇති එකක් නොවැයි කියා අමතක කර දමන්නට පුලුවන.

පොලීසිය සිංහල අපටත් මෙහෙම නැතත් වෙනත් ආකාරයන්ගෙන් කෙළවා ඇති බවත් තවමත් කෙළවන බවත් අමතර වශයෙන් කියා සිටින්නට ද පුලුවන.

මේ මංකොල්ලය දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන්නට හැකි ව ඇත්තේ මන්දැයි සොයන්නට ඔවුන්ට උනන්දුවක් ඇතිවනු ඇත්තේ ඔවුන් ද දෙමළව ඉපදුනොත් හෝ නැතිනම් දෙමළ යයි වරදවා අදුනාගනු ලැ‍බුවොත් ය.

එතෙක් බැණුම් අහගෙන, තව සීයක් මෙවැනි ප්‍රවෘත්ති ගෙනාවද ඉන් පලක් නොවන බව දැන දැනත්, මේවා ලියන්නට සිදුවන්නේ ය. එසේ ලියා තබන්නේ අද නැතත් කවදා හෝ මේවා ඉතිහාසය කියවන කවුරුන්‍ හෝ විසින් සළකා බලනු ඇතැයි යන හැගීමෙනි.

පොලීසිය ‍පිළිබද දෙමළ ජනතාව සතු මේ බිය, නියත හෝ අනියත බිය, නැති කර දැමීමට දැන්වත් අප කටයුතු කරන්නේ ද? ඒ සදහා කුමන පියවරක් ගත හැක්කේ ද? පොලීසියට වඩ වඩාත් දමිළ නිලධාරීන් බදවා ගැනීමට මේ අනුව ආණ්ඩුව උත්සුක වන්නේ ද? මෙවැනි අතුරු ප්‍රශ්න ගණනාවක් මේ සිද්ධියෙන් නැවතත් මතුවෙයි.

යුද්ධය අවසන් වීත් මේ ප්‍රශ්න එළියට ගෙන ඒ ගැන කතිකාවක් කිරීමට අපට නොහැකිව ඇත්තේ මන්ද? ඒ සදහා තවත් යුද්ධයක එලිපත්තට අපව ගෙනා යුතු ද?

ඒ ප්‍රශ්නවලට අප දෙන උත්තර අනුව අපේ අනාගතය කෙසේවනු ඇත්දැයි තීරණය වනු ඇත්තේ ය. මෙවැනි ප්‍රශ්නවලට උත්තර දීම අතීතයේ දී අප විසින් මග හැරීම නිසා ඇතිවුනු දිග්ගැස්සුණු යුද්ධයක් අතිශය වියදම් සහගතව හා අමානුෂිකව අවසන් කර හුස්ම ගන්නා මේ මොහොත තරම් මෙවැන්නක් විමසීමට ‍සුදුසු කලක් තවත් නැත්තේ ය. නැවත නොඑලඹෙනු ද ඇත්තේ ය.

Posted in: Uncategorized