මුවාට සංඝරත්නයේ පිහිටයි! හාමුදුරුවන්ට කාගේ පිහිට ද?

Posted on August 21, 2010



හාමුදුරුවන් බලන් ඉන්න හුරතල් ය. හරියට තුම්මු‍ල්ලේ විමලේ වගේ ය. විමලේ මෙන්ම මං මැරෙනවා යයි කියමින් හාමුදුරුවෝ මුවා ගෙනියන්නට ආ වන ජීවි වාහනය හරස් කොට ඉදගත්තේ ය.

විමලේ ලගට මගේ මතකයට ආවේ සීනි බෝල ඉල්ලා අඩා වැටෙන කුඩා දරුවෙකි. විමලේගේත් එවැනි පැංචෙකුගේත් ලොකු වෙනසක් නැතැයි ඔබ කියන්නට පුලුවන (මම නම් ඒ ගැන එකග නැත. පුංචි ළමයින්ට නැති රැවුලක් විමල් අයියාට ඇති නිසා ය). හාමුදුරුවන් කෑමොර දුන්නේත් ඒ වගේ ය.

පොලීසිය කැදවන ලද්දේ ය. ඒත් හුරතලය අවසන් කරන්නට හාමුදුරුවන් සූදානම් වූයේ නැත. මැරෙන්න හැදුවේ මුවෙකුට ය. ඒ ද රටේ වලංගු නීතියට පිටින් පානදුරේ පන්‍සලේ මුවෙකු හැදීම වෙනුවෙනි.

ඇත්තටම මුවා සමගම කුදලාගෙන ගොස් මුවා වනයට අතහැර කූඩුවේ ලන්න තිබුනේ හාමුදුරුවන්ව ය. කොටුවේ සරත් ෆොන්සේකාගේ නිදහස් වීම ඉල්ලා උපවාසය කළ හාමුදුරුවන් බලෙන් උස්සා ගෙන ගිය පොලීසිය කීකරු පූසන් මෙන් මුවාගේ හිරභාරය පැතූ හාමුදුරුවන්ට ඉඩ දී අයින් විය.

වන ජීවි දෙපාර්තමේන්තුව ද මුවාට සංඝරත්නයේ පිහිට පතමින් ඉවත්වූහ.

එහෙත් අවනඩුව අවසන් වූයේ නැත.

‍රාජකාරි කිරීමට බාධා කිරීම සම්බන්ධයෙන් හාමුදුරුවන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන ලද්දේ ය. හාමුදුරුවන් නඩු දිනයේ උසාවියේ පෙනී සිටියේ නැත. හාමුදුරුවන්ට එරෙහිව දැන් වරෙන්තු නිකුත් කර තිබේ.

එදා හාමුදුරුවන් කුදලාගෙන යන්නට අසමත් වූ පොලීසිය මෙදා හාමුදුරුවන් සම්බන්ධයෙන් කුමක් කරයි ද යන්න අවිනිශ්චිත ය.

මේ කාරණාවලින් පෙනී යන්නේ නීතියට ඉහළින් ආගමත් ඒ සියල්ලට ඉහළින් දේශපාලන බලයත් ඇති බව ය.

__________________________________________________________

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට දිව‍යිනේ සතර දිග් භාගයෙන් පැමිණි සංඝයා වහන්සේලා මර්වින් සිල්වා නම් මැරයාට නැවත ඇමති තනතුර ලබා දෙන්නැයි “රජයට බල කරන්නේද” ඒ නිසා ය.

_________________________________________________________

හාමුදුරුවන් විමල් වීරවංශගේ ආදර්ශය පෙන්වමින් මානව හිමිකම් යා ද නැතිනම් උසාවි යා දැයි හරිහැටි පැහැදිලි නැත.

ලංකාවේ ඕනෑම දෙයක් සිදුවිය හැකි ය. මේ රට හරි අපූරු රටක් යයි කියන එකේ ඒ හැටි වැරැද්දක් නැත.

Advertisements
Posted in: Uncategorized