ලොව පැරණිම වෘත්තියේ ලෝක වාර්ථාවත් අපට ද?

Posted on August 20, 2010



බොහෝ බ්ලොග් අඩවි ද පුවත් පත් ද වාර්ථාකර තිබුනේ ලංකාවේ අභිසරු ලියන් 47000 ක් පමණ ඇතැයි සමීක්ෂණයකින් හෙලිවී ඇති බව ය.

එක් ගණිකාවක් සේවය ලබා දෙන්නේ එක් පිරිමියෙකුට පමණක් නොවේ. එයින් අදහස් කරන්නේ අඩු වශයෙන් පිරිමි ලක්ෂ 10ට ඉක්මවන ප්‍රමාණයක් මේ සේවය ලබා ගන්නා බව ද?

සමහරු කියන්නේ ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තීන්ගෙන් එකක් බව ය. එසේ වුවද ලංකාවේ එය තහනම් ය. 47000 ක් සිටීම ප්‍රවෘත්තියක් වන්නේ ඒ නිසා ය. ඒ තුළ සිටිය හැකි ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ දහයක්ය යන ගණන අදහාගත නොහැකි වන්නේ ඒ නිසා ය.

ලංකාවේ සෑම පිරිමි දෙසියයකට ගණිකාවක් සිටීම තුළින් පෙන්වන්නේ කොහේ හෝ වරදක් සිදුව ඇති බව ද? නැතිනම් මෙය අතිශයින් ස්වභාවික තත්වයක්ව තිබියදී අපට එක්වර අදහාගත නොහැකි අරුමයක් වූ බව ද?

එය ලංකාවේ පවතින සියලු නීති, නීතිය රකින ආයතන, සමච්චලයට ලක්කරමින් පැතිර ඇති බව ද?

එය ලංකාවේ බහුතරයක් අදහන ආගමවන බුද්ධාගම ප්‍රමුඛ කොට ගෙන ඇති සියලු ආගම් ප්‍රශ්න කරන බව ද? ඒවායේ ප්‍රචලිත භාවය ප්‍රශ්න කරන බව ද? එහි බලපෑම ප්‍රශ්න කරන බව ද?

රටේ නීතිය රකින ආයතන පද්ධතියක් තිබේ. අත්වැල් අල්ලාගෙන ඉන්නා කොල්ලන් කෙල්ලන් මෙන්ම විවාහක ජෝඩු ද කුදලාගෙන යන පොලීසියක් තිබේ. ගණිකා සේවය නීත්‍යාණුකුල නැත. එවැනි වටපිටාවක මෙය පොලීසියට එල්ල කරන ලද අතුල් පහරක් ද?

රූප පෙට්ටියේ තොල් දෙකක් එකට එක් වෙනවාවත් පෙන්වන්නට තහනම් ය. එහෙව් රටක ගැහැණුන් 47000 ක් එනම් මුලු ගුරු සංහතියෙන් හතරෙන් එකකට සමාන පිරිසක් මේ රැකියාවේ යෙදෙන්නේ කෙසේ ද? තහනම් ගහේ ගෙඩි වඩාත් රස නිසා මෙසේ වූවා වත් ද?

අප රට විනාශ කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ‘තිබේ’. මේ එහි ප්‍රතිඵලයක් ද? මේ කුමන්ත්‍රණය බුදුන්ගේ කාලයේ පටන් එන එකක් ද?

දරුවන්ට කන්න දෙන්නට තිබෙන එකම මාර්ගය ඒක නම් දරුවන් පාලමකින් පහලට තල්ලු කරනවාට වඩා එය මානුෂික යයි මේ කාන්තාවන් සිතුවාවත් ද? තම දෙමාපියන් මහමගට තල්ලු කර දමනු වෙනුවට උන්ගේ බර දරන්නට ඇති මගක් ලෙස මෙය තෝරාගත්තා වත් ද?

පහසු ආදායම් මාර්ග හොයන පිරිමින්ගේ මෙන්ම උන්ගේ ඇම්බැට්ට ගැහැණුන්ගේ බලපෑම නිසා මේ උගුලට ගොදුරු වීද?

ගැහැණු මැදපෙරදිග ගොස් ඇති නිසා උන්ගේ පිරිමි මේ අබිසරු ලියන් දෙස යොමු වී ඇත් ද? මෙය මෙසේ පැතිර යාමට එය කොතෙක් දුරට බල පා තිබේද?

අප ජීවත්වන්නේ අමුම අමු මායාවක ද? මේ දහම් දිවයින මතේ පමණක් නොව රතේත් අග්‍රගණ්‍ය කේන්ද්‍රස්ථානයක් ද? මේ එදිනෙදා අහන්නට ලැබෙන කුඩා දරු දැරියන්ගේ සිට මැහැල්ලන් දක්වා දූෂණය කරනවාට අමතර වශයෙන් වූවාම තත්වය බරපතල නොවේ ද?

මේ 47000 ක්වන ගැහැණුන්ගේ අනාගතය කෙබදුද? උන් සුරක්ෂිත ද? මේ තත්වය  පාලනය කළ නොහැකි ද? මීට විසදුම තිබෙන්නේ කොහි ද?

මත් ද්‍රව්‍ය වගේම රති කෙළියත් ලොව පටන් ගත් දා පටන් තිබුනේ ය. ඒ නිසා එය දිගටම තිබිය යුතුය යන්න ඉන් අදහස් නොවේ. එහෙත් එය නැවැත්වීම නීතියේ තහනමකින් කළ හැකි ද නැත්නම් ඒ සදහා රටක සර්ව ආංශික සංවර්ධනයක් සිදු විය යුතු ද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතු ය.

රාජ්‍ය මර්දනකාරී හස්තයන් උද්ගත වූ බොහෝ සමාජවල මතත් රතියත් ඊට සමාන්තරව වර්ධනය වූ බවට මතයක් ඇත්තේ ය. ඒ සමාජයන් නිර්මාණය කළ පාලකයෝද මේ දෙකට තිත තියන්නට උත්සහ කළ බවට ද මතයක් ඇත්තේ ය. ඒ මර්දනය උපරිම ලෙස කිරිමෙන් ලබන සතුටට අමතරව පීඩනය ද සිය පැවැත්ම සදහා වාසිදායකයයි සළකා ගෙන ය.

මතත් රතියත් ගැන ගැඹුරින් විමසීම සදහා සමාජවිද්‍යා පර්යේෂකයින් ද සම්බන්ධ කර ගෙන  මේ ප්‍රශ්නයේ දිග පළල හැදින මේ ගැන මැදිහත් වීම එක් විදිහකි. අනිත් විදිහ ලෝකෙට පේන්නට දැන් මෙන් ම තිත තියා රහසේ මෙය කර ගෙන යෑමට මග සළසා දීම ය.

මතට වගේම රති කෙළියටත් තිතක් තියමු ද?  එය ආරම්භ කිරීමට රජවාසලට පයින්ඩයක් යවමු ද?

(තව එක විසදුමක් තිබේ. මෙහෙම තොරතුරු හොයන අයත් එහෙම තොරතුරු පල කරන අයත් හොයා දඩුකදේ ගැසීම ය. නැත්නම් අලුත් විදිහට වැඩිය තද කරන්නේ නැතිව ගස් බැදීම ය.)

Posted in: Uncategorized