ක්‍රිකට් පිටියෙන් දේශපාලනයට පාඩමක්!

Posted on August 19, 2010



ක්‍රීඩා පිටිය අපූරු තැනකි. එය අපට විනොදය සතුට ආශ්වාදය ගෙන එන අතර තව බොහෝ දේ උගන්වයි.

ගෙවුණු ශ්‍රීලංකා ඉන්දීය එක් දින තරගයේදී සිදුවූ එක් සිද්ධියක් පිළිබදව අවධානය යොමු කරන්නේ එවන් ඉගෙනීමකට ඉඩක් ඒ තුළ ලබා ගත හැකි නිසා ය.

ඉන්දීය කණ්ඩායමට තරගය දිනීම සදහා ලබා ගත යුතුව තිබුනේ එක් ලකුණකි. ඉන්දිය පිතිකරු ෂෙවාග්ට සිය එක් දින ශතකය ලබා ගැනීම සදහා ලබාගත යුතුව තිබුනේ ද එක් ලකුණකි. ඒ ඉරණම් එක ලකුණ ලබා ගැනීම සදහා ඕනෑතරම් පන්දු ඉතිරිව තිබුනේ ය. සිය පෞද්ගලික ඉලක්කය ද කණ්ඩායම් ඉලක්කය ද එකවර දිනා අතිශය විශිෂ්ඨ ලෙස සැමරිය හැකිව තිබූ ඒ අවස්ථාව අහිමිකරමින් එල්ල වූයේ නෝබෝල් පන්දුවකි. එයට ද හයේ පහරක් එල්ල කරමින් ඔහු සිය දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ද ක්‍රිකට් ක්‍රිඩාවේ අපූරු නීතියකට අනුව නොබොල් පන්දුව මුලින් ලකුණුවලට එකතුවන නිසා හයේ පහර තේරුම් විරහිත එකක් වෙයි. එය ලකුණු පොත නොසළකා හරියි. එය අවාසනාවන්ත ය. එසේ වුව ද ප්‍රශ්නය එය නොවේ.

ප්‍රශ්නය ෂෙවා‍ග්ට පෞද්ගලිකව ලකුණු රැස් කිරීමේ අවස්ථාව වුවමනාවෙන් අහිමි කරමින් නොබොල් පන්දුවක් යැවීමට රන්දිව් කටයුතු කළේ ද යන්න ය. ඊටත් අමතරව ඒ සදහා කණ්ඩායමේ කිසියම් පිරිසකගේ උල්පන්දම් දීමක් වූයේ ද යන්න ය.

ක්‍රිකට් ක්‍රිඩාවේ නීතියට අනුව නම් රන්දිව් එම නොබෝල් පන්දු යැවීම හිතාමතා කළ ද ඔහු වරදක් කර නැත.

නීතියට අනුව වරදක් නොවන දෙයක් හෘද සාක්ෂියට අනුව වරදක් වෙයි.

ලංකාවේ නායකයින්ගේ සිට අප බොහෝ දෙනෙකුට නැත්තේ මේ හෘදසාක්ෂියයි. යුද්ධය දිනීමට තමන්ට ඇප උපකාර කළ සරත් ෆොන්සේකාගේ තරු ගලවන නායකයෙකු නීතියේ රැකවරණය ලබමින් කරන ඒ අපූරු දඩුවම් දීම හරහා ප්‍රදර්ශනය කරන්නේ තමන් තුළ නැති ඒ හෘද සාක්ෂියයි.

තමන්ගේ පිළේ ඉන්නා අයට සියලු රැකවරණය සළසමින් සතුරු පිළේ ඉන්නා අයගේ හත්මුතු පරම්පරාවෙන් පළිගන්නා විට ද ප්‍රදර්ශනය කරන්නේ එයයි. දනුන තිලකරත්න ඔහුගේ මව ඇතුළු තව බොහෝ දෙනෙක් අද නීතියේ හස්තයට ගොදුරුව ඇත්තේ ඒ අනුව ය. රතන හිමියන්ට කැප ඩොලර් දනුනගේ අම්මාට අකැප වන්නේත් ඒ අනුව ය.

තමන්ගේ පිළේ ඉන්නා අයට බොරු දඩුවම් දෙමින් අනිත් පිලට පැන්නාවූ අයට සාමාන්‍යයෙන් නොකරන දඩුවම් දෙන්නන් ප්‍රදර්ශනය කරන්නේ ද මෙයයි. නියෝජ්‍ය ඇමති තනතුරින් පහකරන ලද මර්වින් ඒ තනතුරට අයත් බි එම් ඩබ්ලිව් රථයෙන් තවමත් ගමන් බිමන් යන්නේ ද එසේ ගියා යයි කියූ ශ්‍රීපති ඒ වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාරයේ දිවි ගෙවන ලද්දේද ඒ අනුව ය.

නීතියට කැප නිසා කළ ද හෘද සාක්ෂියට අකැප වූ විට එතැන ප්‍රශ්නයක් ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිශාන්ත රණතුංග ඉන්දීය ක්‍රිකට් පාලනයෙන් සමාව අයැදින්නේ ඒ නිසා ය.

අපට ඒ අතින් ආඩම්බර විය හැකි ය. ඒ නිහතමානීව සිදුවූ වැරැද්ද පිළි ගැනීමට සමත් අය තවමත් අපේ පරිපාලනය තුළ සිටිම සම්බන්ධයෙනි. නීතියට මුවා වී තමන්ගේ ලජ්ජා නැති ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වන දේශපාලනඥයන් කොතෙකුත් ඉන්නා ශ්‍රී ලංකාවේ එසේ ඉදිරිපත් නොවන මිනිසුන් ද සිටින බව ලෝකයට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙනි.

හැමදාමත් ආණ්ඩුවටත් පරිපාලනයටත් බණින අපට මෙසේ උන් අගැයීමට අවස්ථාවක් ලබා දීම ගැන නිශාන්ත රණතුංගට ස්තුති කරමු.

අපට වැරදිවලින් ඉගෙන ගත හැකි නම් ජාතියක් හැටියට තවමත් පෙරට යාමේ හැකියාව ඇත. ඒ සදහා අවශ්‍ය තැන්වල නුවණ පහළ වේවා යයි අපි පතමු.

Posted in: Uncategorized