අවසානයේ බී ටී අයි එයි!

Posted on August 18, 2010



සති තුනකට පෙර ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්පත් විවෘත කළ නිසා ඩෙංගු බැක්ටීරියාව නිශ්පාදනය කියුබාව විසින් නිශ්පාදනය අරඹා ඇති අතර අද එනවා හෙට එනවා කියූ බැක්ටීරියාව මේ අනුව ඉදිරි සති දෙක තුළදී ලංකාවට ‍පැමිණෙනු ඇතැයි කියුබානු තනාපතිවරයා ප්‍රකාශ කොට ඇත.

බැක්ටීරියාව පිළිගැනීමට ගුවන්තොටුපලට ‍විශේෂ සෞඛ්‍ය අමාත්‍යංශ දූත පිරිසක් සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් යැවීමට නියමිත ය. එතැන් සිට පෙරහැරේ වඩම්මා ගෙන එනු ලබන මෙම බැක්ටීරියාව මහජන ප්‍රදර්ශනය සදහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබෙනු ඇත.

මාධ්‍ය ආවරණය සදහා සියලු මාධ්‍ය ආයතන ලහි ලහියේ ලෑස්තිවන අතර මේ අනුව සරත් ෆොන්සේකා වෙත පැනවූ දඩුවම පිළිබද මහජන ආන්දෝලනයක් ඇතිවීමේ ඉඩක් නැති බව මාධ්‍ය සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසී ය.

බී ටී අයි බැක්ටීරියාව දැක බලා ගැනීමට පැමිණෙන ජනතාවට විශේෂ බස් හා දුම්රිය සේවා සපයා ඇති අතර ලක්ෂ ගණන් ජනයා මේ සදහා අගනුවරට එක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාස කරයි.

බී ටී අයි ගෙන්වූ ඇමතිතුමාට ජයවේවා. ඩෙංගු මදුරුවාගෙන් රට බේරා ගත් අපේ අභීත රජතුමාට ජයවේවා යන සටන් පාඨ රැගත් බිල්බෝඩ් හැම හන්දියකම ප්‍රදර්ශනය කරනු ලබන අතර ඒ සදහා යන වියදම පියවා ගැනීම සදහා විශේෂ සෞඛ්‍ය බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අනුව කොටියාගෙන් පමණක් නොව මදුරුවාගෙන් ද රට බේරාගත් ආණ්ඩුව හැටියට මේ රජය ඉතිහාසයට එක්වීමට නියමිත ය.

(ඉහත පිස්සු සටහන ලිව්වේ ඩෙංගු කෝලම ඇතුළු රට තුළ රග දක්වන බහු විධ කෝලම්වල හැටි ස්වභාවය බලා ඉදලා බැරි තැනය. ආරංචියේ හැටියට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ යුවරාජ්ට ද ලංකාවේදී ඩෙංගු වැළදී ඇත. මේ නම් යම්තම් පණ ගහගෙන නැගිටින්නට හදන සංචාරක ව්‍යාපාරයට කණකොකා හැඩවීමකි. කොටි තර්ජනය නිසා නොපැමිණි සංචාරකයින් මදුරු තර්ජනය නිසා ද නෑවිත් ඉන්නට තීරණය කළොත් ආශ්චර්යයට කෙළ වන්නේ ය. ඒ නිසා ඇද ඇද ඉන්නේ නැතිව කරන මගුලක් බොරු ෂෝක් පැත්තකින් තබා කරන්නට කටයුතු කළොත් එය අපේ දුබල වන ආර්ථිකයේ සෞඛ්‍යයට හොද ය. නැතිනම් හම්බන්තොට වරායේ ආදායමෙන් චීනයට ණය ගෙවා ඉතිරිවන සොච්චමෙන්ද වැඩක් ගන්නට බැරිවනු ඇත්තේ ය. වැඩේ වුනාට පසු ආඩපාලි කියන්නේ නැතිව ආණ්ඩුව ඩෙංගු සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගැනීමට මෙහෙයවීම මේ සියල්ලෙන් අපේක්ෂිත ය. තවදුරටත් කර ඇර ඇර ඉන්නේ නැතිව බී ටී අයි ඇතිවෙන්නට ගෙන්වනු!)

Posted in: Uncategorized