පොලිස්පති තුමනි, මේ එළැඹ ඇත්තේ ඔබේ වාරයයි!

Posted on August 13, 2010



මර්වින් සිල්වා මහතා කර ඇත්තේ බරපතල වැරැද්දකි. නියෝජ්‍ය අමාත්‍ය තනතුරින් පහකිරිමෙන් නොනැවතී පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට ද ජනාධිපතිතුමන් විසින් කටයුතු කර ඇත්තේ ඒ නිසා ය. බරපතල වැරැද්දක් නොකර කෙනෙකුට මෙහෙම දඩුවම් දෙන්නේ නැත. ඒ පක්ෂ නීතියට අනුව ය. පක්ෂ නීතියට අමතරව රටක නීතියක් ද තිබෙයි.

පොලිස්පතිතුමනි දැන්‍ මේ ඔබේ වාරයයි. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ද එසේ නොකරන අය අල්ලා අච්චු කිරීමට ද බලය ඇත්තේ ඔබට ය.

ජනාධිපති තුමා කියන තෙක් නොසිට වහා වහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම එළඹෙන තත්වය යටතේ ඔබේ ශරීර සෞඛ්‍යයට කෙසේ වෙතත් වෘත්තීය ජීවිතයේ සෞඛ්‍යයට හොද ය. නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඔබතුමා ගැන ජනාධිපතිතුමාට තරහ ගියොත් ඔබට වෙන්නේ ද තනතුරින් ඉවත් කරනු ලැබීමට යටත් වන්නට ය. අපේ ජනාධිපති තුමා නීතිය නම් නීතිය යන්න තමන්ගේ බලු ගැත්තරයින්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක කරවීමට ඉදිරිපත් වීමෙන් පෙන්වා දී තිබේ. එහෙම ටෆ් වෙන්නට සිතාගත් ජනාධිපති කෙනෙක් යටතේ ඉතින් තවත් ප්‍රමාද වී තමන්ගේ වල කපා ගත යුත්තේ මන්ද? වහා වහා ක්‍රියාත්මක වෙන්න.

ඇයි පොලිස්පතිතුමනි සට සට ගා වෙව්ලන්නේ කකුල් ගැහෙන්නේ? ඔබතුමා අසනීපයෙන් වත්ද?

මේ වගේ මොහොතක තීන්දු ගන්නා එක ලොක්කන්ට සැලියුට් ගහනා තරම් ලේසි පහසු නැති බව ඇත්ත ය. ඒත් මේ පස්ස ගැසිය යුතු වෙලාව නොවේ. අකම්පාල විය යුතු මොහොතක් නොවේ. වැඩකළ යුතු වැඩපෙන්විය යුතු මොහොතකි.

ඒ සදහා ඔබතුමාට සක්තියත් ධෛර්යයත් ලැබේවා යි පතමු.

අප එසේ පතන්නේ අපගේ පොලිස්පතිතුමන් හැටියට ඔබ තවත් කාලයක් අප අතර රදවා ගැනීමට අප බලාපොරොත්තුවන නිසා ය. ඔබ විසින් රාජකාරී සමය තුළ කරන ලද්දාවූ විහිළු නිසා අප අමන්දානන්දයට පත්වූයෙමු. ඒවා තවදුරටත් නැරඹීමට ද අපි කැමැත්තෙමු. අමාරිස් අයියලා නැතිවුනාට පසු අප සිටියේ දුකෙනි. ඒ අඩුව පිරිමැහුනේ ඔබ වැනි රාජ්‍ය නිලධාරීන් නිසාය. ඒ නිසා ඔබ නැති කර ගැනීමට අප කැමති නැත. අඩුවශයෙන් අප ගැන අනුකම්පාවෙන්වත් මර්වියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කොට ඔබේ තනතුර බේරා ගැනීමට ඔබ ඉදිරිපත්වනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

Posted in: Uncategorized