කට්ටියක් ඇදගෙන නෑවෝය. ඊළග කට්ටියට ඇදගන්නේ නැතිවම නාන්න ලැබෙනු ඇත්තේ ය.

Posted on August 12, 2010



නාට්‍යයක ජවනිකා කීපයක් තිබේ. පළවෙනි ජවනිකා තිබුනේ කැළණියේ ය. ඒ ගස් බැදීමය.

දෙවැනි ජවනිකාව තිබුනේ ඊට පසු ය. එහිදී සිදුවුනේ ගස් බැන්දා නොව ගස් බැදගත්තා කියා ඔප්පු කිරීම ය.

නාට්‍ය බලන අය හිතුවේ නාට්‍ය එතනින් ඉවරයි කියා ය. ඒ වුනාට රසිකයින් පුදුමයට පත් කරමින් එය අලුත් මාවතක ගමන් ගත්තේ ය. හොද නාට්‍ය සාමාන්‍යයෙන් එහෙම ය.

එසේ උත්ප්‍රාසය දනවමින් ප්‍රදර්ශනය කළ තුන්වෙනි ජවනිකාව මේ දැන් ඉවර වුනා විතර ය. තමන්ම ගස් බැදගත්ත එකා යහතින් සිටියදී පැමිණිල්ලක් සාක්කියක් නැතිව පොලීසිය පවා ඇක්ෂන් නොගෙන ලතවෙද්දී කොහේවත් හිටිය නියෝජ්‍ය ඇමතිවරයෙක් මේ ගැන වගකිව යුතු යැයි රජතුමා දිව්‍ය ඥානයෙන් දැක අස් කර දැමීම ය. ඒ දැක දෙවියන්ද සාදු නාද පවත්වමින් රජතුමාගේ ගුණම වයන හඩ පසුබිමෙන් ඇසෙන්නේ ද මේ ජවනිකාව අතර තුර ය.

හතරවෙනි ජවනිකාව විනය පරීක්ෂණයකි. එය ඉස්සරහට ය. ඒක බොහෝ දුරට නාවලපිටියේ එක වගේ එකක් වන්නට පුලුවන.

පස්වෙනි ජවනිකාව වාර්ථාව බාර දීමත් වගකිව යුතු පුද්ගලයා කැදවා තරයේ අවවාද දීමත් ය. එහි දි සිදුවන්නේ පුද්ගලයා දණ ගසා සමාව අයැදීම ය. නැවතත් එහෙම වැරදි වැඩ නොකරන බව පොරොන්දු වීම ය.

අංගුලිමාලටත් සමාව දුන් දර්ශනයක් අදහන අපට කේපීලාට කරුණා අම්මාන්ලාට සමාව දීමේ සම්ප්‍රදායක් තිබෙන අපට මේ පුගුලාට සමාව දිය නොහැකි මන්දැයි ඊළග ජවනිකාවේ දී කට්ටිය ප්‍රශ්න පිට ප්‍රශ්න නගන නිසා රජතුමාට දුක හිතී නැවත පුනරුත්තාපනය වූ මර්වින්ට නව ඇමති පදවියක් පිරිනැමීම සිදුවනු ඇත. මෙහිදී හඩ්ඩාත් මහින්ද අබේසුන්දරත් ඉටු කරන කාර්යය අතිශයින් සුන්දර ස්වරූපයක් ගනු ඇති බව දැන්මම කිව හැකි ය.

පිටපත එල නේද? ප්‍රශ්නය ඇත්තේ ඊළගට ලැබෙන තනතුර ගැන ය. ඒක ඉතින් පිටපත් රචකයාට අයිති වැඩකි.

ඒ නාට්‍යය එසේ නිම විමට නියමිත අතර ඊළග නාට්ටියට කට්ටිය ලහිලහියේ සෙට් වෙනු ඇත්තේ ය.

බඩුමිල වැඩිවීම එක් පැත්තකින් ද පොරොන්දු වූ වැටුප් වැඩිවීම අමතක කර දැමීම අනිත් පැත්තෙන් ද සිදුවෙද්දී කට්ටිය මේ පෙරහැරක් සේ එන නාට්ටිය බලා ත්‍රාසයත් විනෝදයත් ලබන්නාහු ය. තවදුරටත් ලබනු ඇත්තේ ය. නාට්ටිය බලන අයට අනින ඩෙංගු මදුරුවා ගැන පවා ගානක් නැතිව යන තරමටම නාට්ටිය ආශික් ය.

රජතුමානම් මූ අස් කරන එකක් නැතැයි සිතූ ගෝල බාලයෝ මර්වියා රකින්නට ගොස් හොදට ඇදගෙන නෑවෝය. එසේ ආත්මය උන් නැතිකරගැනීමට සමාන්තරව රජතුමා ලකුණු රැස් කරන්නේ ය.

රජතුමා ලබන ලකුණින් තරගය දිනන්නට පුලුවන. ඒ නිසා රජතුමා වෙනුවෙන් රන්අවුට් වුනාට කමක් නැත.‍ හොදට නාගත්ත අය එහෙම හිතා තම දුක තුනී කරගන්නවා ඇත.

දැන් රජතුමාගේ මේ තීරණය වර්ණනා කරන අයට ද තියෙන්නේ සබන් තුවා අරගෙන නාන්න ‍ලෑස්ති වෙන එක ය. ඒ අයට ඉස්සරහට නාගන්නට වෙන්නේ ය. ඒ සමාව දී නැවත පුනරුත්ථාපන කරන වෙලාව ආවාම ය.

ලංකාවේ ඉන්නවා නම් මෙහෙම නෑමක් නැතිව හොදින් ඉන්නට බැරි ය. අපට තවමත් නොතේ‍රුනාට එසේ තේරුන අය ඊට පලි නැත.

නාන්න හිත හදා ගැනීමට බැරි අයට මෙහෙම කල්පනා කරන්නට පුලුවන. ඒ නෑමෙන් දුකක් ඇතිවුනහම හඩ්ඩාගේ හෝ මහින්ද අබේසුන්දරගේ වචනවලට සවන් දුන්නාම දුක තුනී කරගන්නට පුලුවන් කමක් ඇති බව ය. දැන් ඉතින් පෝලිමේ ඇවිත් රජතුමාගේ මේ අභීත තීරණයේ යහගුණය ගැන කියවන්න. ඊළගට නාට්ටිය පටන් ගන්නට තව වේලා තිබේ.

Posted in: Uncategorized