මර්වින්ට සමුදීම හරහා ඊනියා විද්වතුන්ට හා ආයතනයන්ට වැදුණු කණේ පහර

Posted on August 11, 2010



කෙහෙළිය කණ අල්ලාගෙන පාත්වුනේ මේ මොන සංගෙඩියක්ද කියමිනි. පොලිස්පති තුමා සිය ඉදිමුණු කම්මුල අතගෑ බැලුවේ මොනවා කරන්නද දිගටම ඉවසනවා මිසක් කියමිනි. පොලීස් දෙපාර්තමේන්තුව වැදුණු පහරෙන් මුණින් තලාවී බිම වැටී අඤ්ඤ කොරොස් වී සිටියේ කතා කරගැනීමට ද නොහැකිව ය. තව බොහෝ දෙනෙක් ඉහින් කණින් ලේ පෙරා ගෙන තැන තැන වැටී සිටියෝ ය. පහර බරපතල ය. හිතාමතා නොගැහැව්වත් වදින්න ඕනෑ හැමතැනටම මදියි නොකියන්න වැදී තිබුනේ ය.

ගස් බැන්දේ සමෘද්ධි නිලධාරී කෙනෙකි. ඒ නිසා ඊට විරුද්ධව සටන් කළ යුත්තේ ද සමෘද්ධි නිලධාරීන් ය. අප බොහෝ දෙනෙක් සිතුවේ එපරිද්දෙනි. තමන්ගේ එකෙකුට එහෙම වෙලාත් සටන් නොවදින සමෘද්ධි නිලධාරීන්‍ ලෙස අනෙක් නිලධාරීන්ද බැලුවේ වපර ඇසිනි.

එහෙත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීහු පමණක් මේ සම්බන්ධයෙන් තමන් ද විරෝධය පළ කළ යුතුව ඇතැයි සිතුවෝ ය. එය පවා හුදු වාචික විරෝධයකට පමණක් සීමා විය.

ගණකාධිකාරි සේවය, වෛද්‍ය සේවය, ඉං‍ජිනේරු සේවය, විද්‍යාත්මක සේවය යයි තව කොතෙකුත් සේවාවන් රටේ ඇත. මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කළ යුතු යැයි ඔවුන් එකෙකුදු නොසිතුවෝ ය. ඒ ගස් බැන්ද එකා තමන්ගේ එකෙකු නොවන නිසා ය.

රටේ නීතිය සම්මත කරන, නීතිය ක්‍රියාත්මක කරවන, නීතිය පසිදලවන ආයතන ඇත. ඒ එකදු ආයතනයක්වත් මේ අත්තනෝමතික ගස් බැදීම තමන්ගේ විශය පථයට අයත් යැයි නොසිතුවේ ය.

වෘත්තිකයින්ගේ සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංවිධාන, නීතිඥ සංගම් යන එකී නොකී ගාම්භීර ආයතන පද්ධතියක් ද රටේ ඇත. ඒ එකද සංගමයක්වත් මේ වෘත්තීයත්වයට නොගැලපෙන මේ ක්‍රියාදාමයට ප්‍රමාණික විරුද්ධත්වයක් දැක්වීම අවශ්‍යයැයි දුටුවේ නැත.

පොඩ්ඩ බැරිවුනහම සිවුරු උස්සාගෙන ලෝගු කරට ගෙන බහු රූ කෝලම් මවන සංඝ සමාජයක් පූජකසමාජයක් අපට ඇත. මේ ගස් බැදීම හරහා රටට ගෙනෙන පණිවුඩය අජූව යැයි කියන්නට ඔවුන්ගේ කටවල් නැමුනේ නැත. අඩුවශයෙන් වචනයෙන් එහා යන ක්‍රියාකාරිත්වයක් ප්‍රදර්ශනය කළේ නැත.

ලෝකයා අපට කොණහන්නේ යැයි කියමින් වෙනත් රටක පුංචි මිනිහෙක් කළ ප්‍රකාශයක් වුව අල්ලාගෙන පත්තර පිටු පුරෝන පාගමනේ යන දේශප්‍රේමී උගුඩුවන් රැසක් අපට සිටිති. උන් එකෙක්වත් ලෝකය ඉදිරියේ මෙසේ අප අපහසුතාවයට පත් නොකරන්නැයි අඩන්න බලන් ඉන්න ලෝකයා‍ගේ ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා යැයි මේ මැරයාට කීවේ නැත. මේ මැරයා අල්ලා ගස් බදින්නැයි නායක කාරකාදීන්ට කීවේ ද නැත. හෙල උරුමය පමණක් අමාරුවෙන් ප්‍රකාශයක් කර තිබුනේ ය. එහෙත් වෙනදා ඔවුන් යන පෙලපාලි මෙදා දැක ගන්නට ලැබුනේ නැත.

වාසුදේව නානායක්කාර නිදාගත් වනම සිටින්නේ ය. ඩිව් ගුණසේකර මේ දවස්වල පත්තරයක්වත් දැක නැත්තේ ය. සර්ව පාක්ෂික සමුළු වාර්ථාව බාර දීමෙන් පසු තිස්ස විතාරණ ඉන්නේ නිදි සුවයෙනි.

බැසිල් පමණක් තම දෙටු බෑයා ලවා මෙයාට තරවටු කරවන්නෙමැයි ප්‍රතිඥා දී තිබුණි. ඒ ඉතින් කප්පරක් තරවටු කරලාත් මෙල්ල කර ගන්නට බැරිව ඉන්නා පසුබිමක ය.

වැඩි දෙනෙක් අල්ලා ගස් බැදිය යුතු රටක එක් අහිංසක සමෘද්ධි නිලධාරියෙක් පමණක් සියලු දෙනා වෙනුවෙන් ගස් බැද ගත්තේ ය. ඒ මදිවාට තමාම සිය කැමැත්තෙන් ගස් බැද ගත්තේ යැයි කියා තව වතාවක් නෝන්ඩි වුනේ ය.

මේ රටේ වගකිවයුත්තන් (අප කියන්නේ ආණ්ඩුව ගැන නොවේ. ආණ්ඩුව ගැන කියන හරිය කියා ඉවර ය. බුද්ධිමතුන්, විද්වතුන් හා අර-මේ සියලු අනිකුත් හිස්-වතුන් ගැනය)  සියල්ලන් අල්ලා ගස් බදින්නේ නම් මර්වින් සගයාණෙනි, තොපට ලණු සොයා දීමට අපිත් එන්නේ යැයි අපි ප්‍රතිඥා දෙමු.

මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් ඇතුළු වගකිව යුත්තන් කොතෙක් අසංවේදී ද යත් උන්ව අල්ලා ගස් බැන්දේ වුව ද කෙදිරියක් නගනු ඇරෙන්නට වෙනත් මුකුත් නොකියනු ඇති බවට නම් අපට විශ්වාස ය.

සාමාන්‍ය මිනිසාට නොතේරෙන දේ අඩුගණනෙන් මේ උගත් යයි කියන රැලට වත් තේ‍රිය යුතු ය. එසේ තේරෙන එකාත් හෙමිහිට රට හැර යනවා විනා එහෙම ගියාට පස්සේ එතෙර සිටවත් කෙදිරියක් නගන්නට මහන්සි වන්නේ නැත.

අප මේ කියන්නේ ඉතා අසීරු තත්වයක් යටතේ යමක් කරන අත‍ලොස්සක් දෙනාට නොවේ. කරදර ඔඩොක්කුවේ දමාගන්නේ මක්කටැයි කියා මගහැර සිටින බහුතරයකටය.

රට බල්ලාට යන්නේ අඥාන මිනිසා බූරුවන් චන්දය දී බලයට පත්කරන නිසාම නොවේ. ඥානවන්තයා මිනිසුන්‍ ඇස් අරවන කිසිවක් නොකරන නිසා ය.

උන් සියල්ලන් දෙකේ කොළයට දමමින්ද උන්ගේ ඇස් ඇරවමින් ද ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ. ඒ මර්වින් නියෝජ්‍ය ඇමති පදවියෙන් අස්කරන්නට ය. එහි ක්‍රෙඩිට් එක යා යුත්තේ යුද්ධය දිනා දුන් පුරුෂයාට සහ සහෝදර සමාගමට ය. අනිත් උන් බැලයන් පමණක් බවත් උන්ගේ කටට හෙණ වැදිලාබවත් අප ඒ අනුව තේරුම් ගත යුතු ය.

සියලු රාජ්‍ය ආයතන ද කුණු ගොඩට විසිකරමින් තවත් තීන්දුවක් ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. ඒ මර්වින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයෙන් අස් කිරීමට හා විනය පරීක්ෂණයක් පැවැත්වීමට ය. සාක්කි නැති නිසා පැමිණිල්ලක් නැති නිසා කළ හැකි කිසිවක් නැතැයි කියූ පොලිස්පතිට දැන් සිදුව‍න්නේ කලිසම ගලවා ගෙන ඉන් කඹයක් සාදා පොලිස් මූලස්ථානයේ වහලේ එල්ලෙන්නට ය. ඒ ලජ්ජාවක් තිබේ නම් ය. නැතිනම් තියෙන්නෙ කලිසම් ඇදගෙන වෙනදා මෙන් හෙලුවෙන් ඉදිමට ය.

මර්වින් කළ දේ හරියයි කියා සුද්දාට ද පලුයන්න බැණ රජකාලේ දඩුවම් ස්ථාප්තිත කිරීම යුක්ති යුක්ත කළ අපේ බ්ලොග් සහෝදරවරුන්ට දැන් තිබෙන්නේ ආණ්ඩුව වැමෑරූ දේ අප්පිරියාවෙන් ගිලීමට ය.

නාඩගම අවසන් නැත. තුන්මුල්ලේ නාඩගම මෙන්ම මෙයද තව ඉස්සරහට ඇදී යාමට නියමිත ය. විමල්ගේ භෞතික මරණයෙන් තුන්මුල්ලේ නාඩගම අවසන් නොවූවා සේම මේ නාඩගම මර්වින්ගේ දේශපාලන මරණයෙන් අවසන් වන්නේ නැත. මේ ලංකාව ය.

Posted in: Uncategorized