ගස්බැදීම මර්වින්ගේ පුද්ගලික වැඩක්! ඒකට ආණ්ඩුව සම්බන්ධ නැහැ! ඒක මගේ වැඩක් නෙවෙයි. ඒ මිනිහා විහින් කරගත්තෙ.

Posted on August 6, 2010



මර්වින් ලොක්කා නරක ය. ඒ නරකවලට ආණ්ඩුවවත් රජතුමාවත් සම්බන්ධ නැත. එය මර්වින් ලොක්කාගේ පුද්ගලික වැඩ ය. ආණ්ඩුවවත් රජතුමාවත් ඒවාට පලි නැත.

හරියට නිකම් එජාසංවිධානයේ කොළඹ කාර්යාලය වටලා එහි වැඩකරන අය ප්‍රාණ ඇපයට ගැනීම විමල් වීරවංශගේ වැඩක් වුනාට ඊට ආණ්ඩුව සම්බන්ධ නැතිවා වාගේ ය. අන්තිමට වතුර උගුරක් පොවන්න ගියේ එහෙම සම්බන්ධයක් ඇති නිසා නොවේ. ඇත්තටම තමන් සම්බන්ධ නැතැයි ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුව කලින්ම කර තිබුනේ ය.

‍මර්වින්ගේ දඩුවමටත් තමන් සම්බන්ධ නැතැයි ගැඹුරුම ගැඹුරු හඩකින් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා ඔබ අසන්නට ඇත. ඒ අනුව මෙය ආණ්ඩුවේ වැඩක් නොවන බවත් මර්වින් සිල්වාගේ පුද්ගලික වැඩක් බවත් තේරුම් ගත යුතු ය. තවත් ඒ ගැන සැකයක් ඇතිකරගැනීමේ තේරුමක් නැත.

පොලිස් නිලධාරියෙක් ද මේ සියල්ල බලාගෙන එතැන සිටියේ යැයි කෙනෙකුට කියන්නට පුලුවන. ඒ නිසාම ආණ්ඩුවේ නිලධාරී යන්ත්‍රය පවා මිට හවුල් යයි කුපාඩි කතාවක් කෙනෙකුට කියන්නට පුලුවන. එවැනි නීති විරෝධි කටයුත්තක් කෙරෙද්දීත් යුනිෆෝම් ගහගෙන කළේ අහවල් මගුලක් දැයි යමක් කමක් තේරෙන්නේ නැති තොත්ත බබාලා ප්‍රශ්න කළ හැකි ය.

පොලිස් නිලධාරියා එතැන සිටියේ සුවිශේෂි රාජකාරියක් සදහා ය. ඒ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ආරක්ෂාවට ය. රාජකාරි දෙකක් එකවර කරන්න බැරි ය. ඒ නිසා ඒ හිටි පොලිස් නිලධාරියාත් පොලීසියත් පොලිස්පති තුමාත් නිදහස් කළ හැකි ය. ආණ්ඩුව පමණක් නොව රාජ්‍යතන්ත්‍රය ද ඒ අනුව නිදහස් වේ.

සමෘද්ධි නිලධාරීන් ඇමතූ බැසිල් රාජපක්ෂ මැතිතුමා කියා තිබුනේ මර්වින්ට තරයේ අවවාද කරන බව ය. තරයේ කියන්නේ නිකම් හුරතලේට වගේ බණිනවාට නෙවේ ය. තදින් බණිනවාට ය.

උතුරේ මෙන්ම දකුණේත් ක්‍රියාත්මක වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවෙහි සම්මත කර ගන්නා නීතිය මිස කැළෑ නීතිය නොවන බව ද, දිවයින පුරා සෑම බිම් අඟලකම ක්‍රියාත්මක වන්නේ එකම නීතිය බැවින් අප සියලු දෙනාම නීතියට ගරු කළ යුතු බව ද, නීතියට අවනත විය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණ සංශෝධන පනත පිළිබඳව පැවැති විවාදයේදී පවසා තිබුනේ ය. කැළණිය තවමත් මුදානොගත් ප්‍රදේශයක් දැයි අහන්නට කවුරුවත් ඒ සභාවේ සිටියේ නැත්දැයි කෙනෙකුට අහන්නට පුලුවන. එහෙම කිචේ දාන එක හරි නැත.

මර්වින්ගේ වැඩ ආණ්ඩුව විශේෂයෙන් නායකත්වය අනුමත නොකරන බව බැසිල්ගේ හා නාමල්ගේ මැදිහත්වීම්වලින්වත් නොපෙනේ ද?

විනය ගැන තවත් බණ කීමට ඇමතිවරු කී‍ප දෙනෙකුටම පහුගිය දවස්වල සිදුව තිබුනේ පාසල්වල ත්‍යාග ප්‍රදානෝත්සවයන්ට සහභාගිවන්නට සිදුව තිබුනු නිසා ය. ඇත්තටම මෙහෙම සිද්දියක් වෙලාත් රජතුමා ඇතුලු සාමාන්‍යයෙන් උත්සවයක ආරාධිත අමුත්තන් හැටියට විනය ගැන කථා පවත්වන අය මේ මොහොතේ ඒ ගැන කතා නොකරන්නේ ඇයි දැයි තවත් ගෝතයෙකුට නිකම් ප්‍රශ්නයක් දැමිය හැකි ය. ඇත්තටම ඒ මේ දවස්වල ඔවුන්ගේ කටේ පිට්ටු නිසා ය. මේ කුරහන් අස්වැන්න කාලයයි. මේ දවස්වල  හොදම කුරහන් පිටිවලින් හදන පිට්ටු නිතර ඇමතිවරුන්ගේ ගෙවල්වල ඉදෙයි. ඉතින් කටේ පිට්ටු තියාගෙන කතා කරන්න බැරි පුංචි ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත ය.

ඒ වුනාට ආයිත් කොහේ හරි අධ්‍යාපන ආයතනයක කතාවක් දුන්නොත් ඒ ගොල්ලෝ විනය ගැන කතා කරනු ඇත. පිට්ටු කටේ තියෙන කොට වගේ නැතිව ඒ නිදහසේ කතා කළ හැකි නිසා ය.

සෝඩා බෝතලේ ඇරියාම පොඩ්ඩක් බුබුලු යන්නේ ය. ටික වෙලාවකින් නැවතත් සියල්ල සන්සුන් වන්නේ ය. ඒ අනුව මර්වින්ට හෙට අනිද්දා ඇමතිපදවියක් වුව ලැබෙන්නට පුලුවන. හැබැයි එකක් මතක තබා ගත යුතු ය. ආණ්ඩුව නම් මේ මර්වියාගේ වැඩ අනුමත කරන්නේ නැති බව ය.

ඇත්තටම නැවත නැවතත් මෙය කීමට සිදුව ඇත්තේ කොච්චර කිව්වත් සමහර අමන මිනිසුන් මර්වියාගේ වැඩ ආණ්ඩුව අනුමත නොකරන බව විශ්වාස කරන්නේ නැති නිසා ය.

ඒකට නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැත.

(පස්සෙ ආරංචි වුන විදිහට මර්වින් අමාත්‍යතුමා ගරු කටයුතු කෙනෙකි. මේ ගස් බැදීමට එතුමාගේ මොනම සම්බන්ධයක්වත් නැත. මේ සමෘද්ධිකාරයා ඇමතිතුමා අතේ තිබු ලණුව ඉල්ලාගෙන තමන්ම ගස් බැද‍ගෙන තිබේ. ඕන නම් ගස්බැදගත් මිනිහාගෙන් විමසා ඇත්ත දැන ගත හැකි ය. අහිංසක මනුස්සයෙකුට චෝදනා කළේ නිරපරාදේය!)

Advertisements
Posted in: Uncategorized