ඩෙංගු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද?

Posted on August 5, 2010



සිංහල ජාතිය නැති බංගස්ථාන කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබේ. ඩෙංගු ඒ සදහා යොදා ගත හැකි ඉතා හොද අවියක් බව මේ වන විට එම ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයින් විසින් සොයා ගෙන ඇත.

කොටියා නැත්නම් මදුරුවාගෙන් හරි වැඩය කරගන්නට ඕනෑ යයි උන් කල්පනා කර තිබේ.

බී ටී අයි බැක්ටීරියාව නොගෙන්වා නගර මැද්දේ කුණු එකතු කර ඩෙංගු වගා කරන්නට දැන් සියලු සැළසුම් යොදා අවසාන ය.

රටේ වගකිවයුත්තන්ට මේ සදහා ඩොලර්වලින් අල්ලස් පිරිනමා ඇතැයි කටකතා පැතිර යන අතර සාමාන්‍යයෙන් ජාතිය විනාස වන්නේ යැයි පොඩ්ඩ බැරිනම් කෑගසන හෙල උරුමයට ඩොලර්වලින් සංග්‍රහ කොට උන්ගේ කට ද වසා ඇත්තේ යයි ආරංචියක් පැතිර යයි. (රතන හිමියන් ලග තිබුනේ ඒ ඩොලර්වලින් කොටසක් යයි මෙයින් කිසිසේත්වත් අදහස් නොකෙරේ.)

මේවා සමහරවිට අපේ දේශප්‍රේමීන්ට මඩ ගහන්නට කරන සැළසුම් වෙන්නට ද පුලුවන. එහෙත් ඩෙංගු වසංගතය ඉදිරියේ මුඛ පුට්ටු කර ගෙන සිටීමෙන් උන් ඉල්ලං කනවා දැයි අපට ද සිතේ.

ගස්ලබු කොළ හොද යයි ප්‍රචාරයන් ගෙන යන්නේ ද මේ කුමන්ත්‍රණකාරයින් බවට ද ආරංචි පැතිර යයි. කොහොමටත් ඩෙංගු හැදෙන හැමදෙනාම නොමැරෙන නිසා ගස්ලබ්බේ කොළ පමණක් නොව ඕනෑම ලබ්බක කොළ බීවාමත් හොද වෙනවාය කියා ගණන් ගත හැකි යයි කියන්නන් සොයා දඩුවම් දීමට ද මේ කුමන්ත්‍රණකරුවන් කටයුතු කරන බව ආරංචි පැතිර යන බැවින් ගස්ලබු කොළ වෙන ලබු කොළ වලට වඩා ගුණවත් විය හැකි බව අපිදු කියා සිටිමු.

මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් පරිසර අමාත්‍යංශය කියා සිටියේ පැතිර යන කටකතා විශ්වාස නොකට යුතු බව ය. එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම ඩෙංගු වසංගතයක් ලෙස පැතිරයාමට හේතුව බැවින් එය පාලනය කිරීම සදහා රජය ගෝලීය මට්ටමෙන් වැඩකට අත ගහන්නට බලාපොරොත්තුවන බව යි.

ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට ජාත්‍යන්තර මට්ටමේ උත්තර ද අවශ්‍ය බව එයින් තේරුම් ගත යුතු ය. මේ නිසාම තවත් රටවල් ගණනක සංචාරය කිරීමට අපේ රජතුමාට ඉදිරියේදී සිදුවනු ඇත. එතුමාට ගෝලීය උෂ්ණත්වය පහත දා ගැනීමට හැකි වෙතැයි අපි පතමු.

තමන්ගේ ආරක්ෂාව තමන්ම සළස්වා ගැනීම ජේආර්ගේ සංකල්පයක් බවත් ඒ නිසා ඩෙංගුවලින් ආරක්ෂා කිරීමට ජනතාවටම සිදුව ඇත්තේ ජේ ආර් ගේ මෙවැනි සංකල්පවල පවතින වැරදි නිසා බවත් ආරක්ෂක අමාත්‍යංශය‍ද මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

එයින් පෙනී යන්නේ ජේ ආර් ‍බහුබූත ව්‍යාවස්ථාවට වගේම ඩෙංගුවලට ද නියම ලෙසින් නැතත් අනියමින් හෝ වග කිව යුතු බව ය. මේ නිසාම ජේආර්ගේ පඹයෙක් පුච්චා දැමීම මේ අවස්ථාවේ ප්‍රඥාගෝචර ද යන්න ජාතික නිදහස් පෙරමුණේ අවධානයට ලක්ව තිබේ.

ඩෙංගුවලට මොනවා හරි දැනෙන දෙයක් කරන තුරු හෝ වැසි නවතින තුරු දෙයියන්ට පඩුරු ගැට ගසා හෝ ජාතිය ආරක්ෂාකරගන්නා මෙන් ඉල්ලන ලෙස දේශහිතේෂීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

අපට දෙයියන්ගේ ආරක්ෂාවයි. ඒ අප විසින්ම සළසා ගන්නා මොනවා හෝ අරක්ෂාවක් තිබේ නම් ඒ ආරක්ෂාවට අමතරව ය.

Posted in: Uncategorized