පිරිමි මුළු ගැන්ව සිටි කැළණියේ යුක්තිය පසිදලීම වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූ ගැහැණියට අපේ ප්‍රණාමය

Posted on August 4, 2010



දෙනෝ දාහක් ඉස්සරහ පොලීසියත් තියාගෙන මාධ්‍යත් ගෙන්වා ගෙන තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වමින් මර්වින් කළ ගස් බැදීමට විරුද්ධව කතා කරන්නට ඉදිරිපත් වූයේ ගැහැණියකි. මෙතරම් පිරිමින් ඉන්නා රටේ ඒ වැඩේ කරන්නට ගැහැණියකට සිදුවීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නය පැත්තකින් තබා ඒ යකඩ ගැහැණියට අපගේ ගෞරවය පුද කිරීමට මෙය අපි අවස්ථාවක් කරගන්නෙමු.

පිරිමින් නිහඩව සිටියදී පොලීසිය පවා මේ දඩබ්බර වැඩය අභියස මුණිවත රකිද්දී මාධ්‍යවේදීන් එය වාර්ථා කරන්නට තිබෙන ප්‍රවෘත්තියක් ලෙස පමණක් සළකද්දී රටේ නායකයින් මේ දඩබ්බරකම්වලට අනියමින් අනුබල දෙද්දී ඔබ පෑ එඩිය අපට මහත් සේ බලාපොරොත්තු දනවන්නේ ය.

අපරාධය හා දඩුවම අතර සහසම්බන්ධයක් තිබේ. දඩුවමක් දිය යුත්තේ අපරාධයක් සම්බන්ධයෙනි. අපරාධයක් නොකළ කෙනෙකු දඩුවමකට යටත් කිරීම ශීෂ්ඨ සමාජයක බරපතල අපරාධයක් ලෙස සළකනු ලැබේ.

ඒනිසාම අපරාධයක් කළ බවට සැක හැර දැනගැනීමේ ක්‍රමවේදයක් එය විසින් සකසා ඇත. ඒ සදහා නිශ්චිත යන්ත්‍රණයක් තිබීම වගකීම් පැවරූ ආයතන ව්‍යුහයක් පැවතීම එවන් ශිෂ්ඨ සමාජයක අනිවාර්ය ලක්ෂණ වන්නේ ය. ඒ ආයතන ව්‍යුහය තුළ පැමිණිල්ල මෙහෙයවන තැනැත්තා විනිශ්චය නොකිරීම මග හැරිය නොහැකි වත් ‍පිළිවෙතක් උසස් චාරිත්‍රයක් ලෙස සළකනු ලැබේ. චුදිතයාට ප්‍රමාණවත් පරිදි තමන්ට ඇති නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට එහිදී ඉඩ සළසනු ලැබේ. පවතින නීතිය යටතේ හිමි දඩුවමට පමණක් යටත්වීමටත් එය සාධාරණ දඩුවමක් වන පරිදි නීති සකස් කිරීමටත් එවැනි සමාජයන් වගබලා ගනිති. ඒ නිසාම නීති සකස්කිරීම ජනතාව විසින් තෝරාගන්නා ලබන ජන සභාවකදී විවාදයන්ගෙන් පසු සම්මත කරගන්නා ක්‍රියාපිළිවෙළකින් පමණක් කිරීමටත් එවැනි සමාජයන් කටයුතු යොදා තිබේ.

මේ ශිෂ්ඨකම් එකක්වත් කැළණියේදී ප්‍රදර්ශනය නොවී ය. ඒ නිසා මැතිණියෙනි, ඔබ නැගී සිටියේ ඒ අශිෂ්ඨ වැඩපිළිවෙළට එරෙහිව ය. ඔබගේ හඩ අනභිබවනීය වන්නේ ඔබ දැන හෝ නොදැන කළ ඒ මැදිහත්විම නිසා ය. අප ඔබට ගෞරවය පිරිනමන්නේ ඒ සදහා ඔබ කළ කැපකිරීම කෙතරම් බරපතළද බව අප දන්නා නිසා ය.

ගැහැණුන් අවදිවන්නේ නම් මේ කුපාඩි පිරිමින්ට නගුට අගුලාගෙන යාමට සිදුවනු ඇත්තේ ය. එසේ වන්නේ නම් මේවා දැක දැකත් මුණිවත රකින නිවට පිරිමින්ට ද කුපාඩ්යන්ට එරෙහිව නැගිටින්නට පුංචි හෝ හයියක් ලැබෙනු ඇත්තේ ය.

මා කලින් ලිපි කිහිපයකදීම දැක්වූ පරිදි මේ රටේ ආර්ථිකය දුවන්නේ ගැහැණුන්ට පින්සිද්ද වෙන්න ය. මට පේන හැටියට මේ රට නිදහස් කර ගැනීමේ හැකියාව ද ඇත්තේ උන්ට ය.

අපේ පිරිමි ඒ තරමට නෝන්ජල් ය.

Advertisements
Posted in: Uncategorized