අයියෝ සිරිසේන! මොකදෑ මේ?

Posted on August 4, 2010



පහත දැක්වෙන යොමුවෙන් පිවිසුන විට ඔබට සෙල්ලම් කරන වැඩිහිටියෙකු දැක ගත හැකි ය.

http://www.lankadeepa.lk/2010/08/02/front_news/04.htm

මේ ඡයාරූපයේ ඉන්නා අපේ මිත්‍රයා පුංචි කාලේ මදුරුවන්ට තෙල් ගහන ලොකු මිනිහෙකු ඔහුගේ ගමට පැමිණියේ ය. කොලු කුරුට්ටන් හා එක්ව මේ තෙල් ගහන මිනිහා කළ වැඩය බලා සිටි අපේ මිත්‍රයාට ද ‍කවදා හෝ ලොකු වුනහම තමනුත් තෙල් ගහන්නට අවස්ථාවක් ලබා ගන්නට ඕනෑ යයි එදා හිතුනේ ය. ඒ අවස්ථාව ඊයේ පෙරේදා දිනයක මෙසේ උදා වුනේ ය.

ඇත්තටම එය අපේ එක් අනුමානයක් පමණකි. ඇත්තටම ඇමතිවරයෙක් මෙහෙම තෙල් ගහන්නේ ඇයි දැයි අපට පැහැදිලි නැත. ඒ නිසා ඊට හේතු මොනවා විය හැකි දැයි අප හිතුවා පමණ ය.

එක ඇමතිනියක් තමන්ට ප්‍රවාහන අමාත්‍යංශය ලැබුනු පසු උදේ පාන්දරක පිටකොටුවේ බස් නැවතුම් පොළ අතු ගෑවා අපට මතක ය. ගෑණියක් නිසා ඇයට දොළ දුකක් ඒ කාලයේ තිබිණි දැයි අප දන්නේ නැත. එහෙත් මෛත්‍රීපාල සිරිසේනට මෙහෙම තෙල් ගහන්නට ආසා හිතුනේ එහෙම එකක් නිසා වෙන්නට බැරි ය.

සමහර විට මේ කම්කරුවන් හරියට තෙල් නොගහන නිසා හරියට ගහන්නේ කෙසේ දැයි පෙන්වීමට මෙය කළා වන්නටත් පුලුවන. හොද නායකයෙක් හැමවිටම තම අනුගාමිකයින්ට ආදර්ශයක් වන නිසා ය.

සමහර වෙලාවකට හිතෙන්නේ තම අමාත්‍යංශයේ කම්කරුවන් කොතරම් වෙහෙස ගන්නවා දැයි තමන්ම අත්දැකීමෙන් විදගන්නට හිතුවා වෙන්නට ඇතැයි කියා ය. තමන්ගේ අනුගාමිකයින් ගැන සහකම්පනයක් ඇති කර ගැනීමට නායකයෙකුට එවැනි ක්‍රියා උදව්වෙන බව අපි අසා ඇත්තෙමු.

සමහර විට තෙල් ගහන කම්කරුවන්ගේ හිගයක් ඇති නිසා තමන්ම ඒ වැඩේට බහින්න හිතා ගත්තා වන්නට ද පුලුවන.

සමහරු නම් කියන්නේ මේ නිසා විමල් වීරවංශට මේසන් හැන්දක් අරගෙන ගෙයක් හදන සයිට් එකක වැඩට ගිහින් තමන් සිරිසේනට දෙවැනි නොවන බව ලෝකයට කියන්නට සිදුවන බව ය. ඒ අනුව මර්වින්ට තාර දාන්න පාරට බහින්නට ද සිද්ධවන්නේ ය.

මක්නිසා ද යත් ඇමතිවරයාගේ සංවේදී බව ඡයාරූපය බලන බොහෝ දෙනෙකු තුළට හිමින් කාන්දු වී එය අනිත් ඇමතිවරුන්ට අභියෝගයක් විය හැකි නිසා ය.

ඇත්තටම ඡයාරූපය අන්තිම ඉහළය. කොටින්ම ෆොටෝජෙනික් ය.

රජයේ සල්ලි වියදම් කරගෙන තව බොහෝ නිලධාරීන්ගේ කාලය ද අපතේ යවමින් වසරකට සැරයක් පවත්වන වප් මගුල් උළෙල  මෙහිදී අපේ සිහියට නැගෙයි. මේ එහිම තවත් ස්වරෑපයක් යයි අපිට නම් සිතේ.

මේවා දකින අප තුළ ඉතිරිවන්නේ ආසියාවේ ආශ්චර්ය ඇතිකිරීමට අපේක්ෂා කර‍න්නේ මෙහෙම විකාර කරලා දැයි ඇතිවන විචිකිච්ඡාව ය.

ඇත්තටම ඇමතිවරයාට ඩෙංගු මර්දනය ගැන ෆොටෝජිනික් වැඩක් කරන්නටම වුවමනා නම් බිටීඅයි බැක්ටීරියාව ඉහන ගුවන්යානයක සිට ඡයාරූපයක් ගත්තා නම් මේ තරමට කිච වෙන්නේ නැතිව එය කරගන්නට තිබුනා යයි අපි උදක්ම සිතමු.

මිනිසුන් ඩෙංගුවලින් මියයන රේට් එකේ හැටියට මේ නම් විහළු කරන්නට වෙලාවක් නොවන බව හිතට ගන්නවා නම් එය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට පමණක් නොව ආණ්ඩුවේ සෞඛ්‍යයට ද හොද ය.

ඇමතිතුමනි, ඔය කරන බව පෙන්නුවා ඇති ය. දැන්වත් කරන්න හිතුවොත් මොකද?

Posted in: Uncategorized