කන්ද උඩ රට රාජ්‍ය විචාරීම ජුලි 31 දා ලයි‍ව් ඇට් එයිට් හරහා දුටුවෙමු.

Posted on August 2, 2010



යාපා පටුනේ රැස්වූවාට පසු රාජ සභාව රැස්වූයේ කන්ද උඩරට රාජ්‍යයේ ය. ඒ රැස්වීම පිළිබද විස්තර ස්වරණවාහීනී ලයි‍ව් ඇට් එයිට් ජූලි 31 දා රාත්‍රියේ ප්‍රචාරය කළේ ය. අප මේ ලියන්නේ එහි අප ඇසු දුටු දේ අනුව මිස අප රැස්වීමට සහභාගී වූ නිසා නොවේ.

දිස්ත්‍රික්කය සදහා ආණ්ඩුවේ අයවැයෙන් මිලියන 1100 ක ගණනක් වෙන්කරන විට ඒ දිස්ත්‍රික්කයේ මිනිසුන් ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ පර්මිට් බාර්වලින් පමණක් මිලියන 5000 ගණනක මත් පැන් පානය කර තිබුනේ ය. මේ බව කීවේ රජතුමාම ය. කසිප්පු සදහා වියදම් කරන මිල ගණන් මීට අයිති නැතැයි ද රජතුමා අවධාරණය කළේ ය.

ඇත්තටම මෙයින් කාරණා කීපයක්ම පෙනෙයි. නිකම් උඩින් බැලුබැල්මට පෙනෙන්නේ මත තිතක් නැතිවම වැඩ කර ඇති බව ය. දැන් හැමෝම කියන විදිහට කියනවා නම් තිතට මත තිබී ඇති බව ය.

ටිකක් ගැඹුරට ගියහම තවත් ඒවා ටිකක් පෙනෙන්නට වෙයි. මතෙන් ලබන බදු නැත්නම් දිස්ත්‍රික්කයේ සංවර්ධනයට දෙන්නට දෙයක් ආණ්ඩුවට නැති බව ය.

සංවර්ධනය ගැන රජතුමා කීවේ තමන් දේශපාලනඥයෙකුගේ ගෙදරට ගොඩ වූ විට දැක ගන්නට ලැබුනේ අරමුදල්වලින් වංගෙඩි අරන් තිබෙන බවත් කෝ මෝල්ගස් කියා තමන් විපරම් කළ බවත් මෝල්ගස් ගන්නට මුදල් නැති නිසා ලබන අවුරුද්දේ මොල්ගස් ලබා දෙන බව උන් පැවසූ බවත් ය.

ඇත්තටම අසා සිටි මට සිතුනේ මෙහෙමත් මෝල්ගස් ද අප පාලනය කරන්නේ කියා ය.

ඊළගට රජතුමා අසා සිටියේ කලුවර වැටෙන කොටම බස් හිටවූ විට මිනිසුන් නිදියන්නේ මහ පාරේද කියා ය. රියැදුරන් නැති නිසා එසේ සිදුවන බැවින් රියැදුරන් බදවා ගැනීමට අහවල් ඇමතිතුමා විසින් කටයුතු කරගෙන යන බව කීවිට කුපිත වූ රජතුමා කීවේ එක එක ඇමතිවරයාට ඕන විදිහට එහෙම බදවා ගැනීම් කළ නොහැකි බවය.

බදවා ගැනීම් කරන්නටත් බැරිනම් රියැදුරන් ද නැත්නම් මහ මග නිදන්නට නොසලස්වා මිනිසුන් කෙසේ ගෙදර ගෙනියන්නට කටයුතු කළේද යන්න ස්වර්ණවාහිනිය අපට හෙළි කළේ නැත.

ඇත්තටම මෙවැනි ප්‍රශ්නයකට උත්තර හරියට තේරුම් ගැනීමට අමුවෙන් බැරිය. දෙකක් දා ගත යුතු ය. ජනතාව බොන්නේ ඒ නිසා විය යුතු ය. මේ ආණ්ඩුවම දිගින් දිගට හැම මැතිවරණයකම උන් විසින් ඉල්ලනු ලබන්නේ මෙසේ මතට තිත තියනා ගමන් සොමියෙන් ඉන්නා ආණ්ඩුවක් හොයා ගැනීම අසීරු නිසා විය හැකි ය.

ඇත්තටම විහළු වැඩසටහන් නවත්වා රජගෙදර සාකච්ඡා මේ විදිහට පෙන්වන්නේ නම් ජනතාවට ඉහළම මට්ටමේ ආතල් ගත හැකි ය. මෙගා ටෙලියන් ‍නිකම් හිරුදුටු කදෝපැණි සේ අහෝසිව යන්නේ මේ රජසභා රූපවාහිනියෙන් දකින විට ය.

ගානට වගේ දාගෙන රූපවාහිනිය ඉස්සරහ ඇලවුනහම ආණ්ඩුවේ ආදායමත් ෂේප් ය. අපේ ආතල් එකත් හරි ය. මතට තිතත් තිතට මතත් එක ලෙසම තිබෙන බව රජතුමාගේ කටින් ද අපේ හැසිරීමෙන් ද අපේ ගෑණුන්ට දැන ගන්න ලැබෙන්නේ ය.

Posted in: Uncategorized