අන්ධයා හා කොරා නාටකයේ අලුත් පිටපත

Posted on July 31, 2010



ආණ්ඩුව හිටියේ වැලේ වැල් නැතිව ය. රනිල් හිටියේ ද ඇතුළේ කචල්වලින් තක්බීර් වෙලා ය.

ඇත්තටම අන්ධයා හා කොරා නාටකය සදහා සියල්ල  යෙදී  තිබුණේ යැයි කිව හැකි ය.

ලෝකයෙන්ම නට්ටන් වී පස්ස බිම ඇණ ගෙන සිටි ආණ්ඩුවට නැගිටින්නට රනිල් අත දුන්නේ ය. ඉතිරි ටික දවස කොහේ යන්නදැයි නොදැන සිටි රනිල්ට කණවැල අල්ලා තවත් දින කීපයක් විපක්ෂ නායකයා ලෙස හා එජාප නායකයා ලෙස යැපෙන්නට ආණ්ඩුව පිහිට වූයේ ය.

රනිල් රෑ වැටුනු වලේ දැන දැනම කැමැත්තෙන් දවලුත් වැටුනේ ය. කලින් වතාවේ 17 ක් අහිමි වී අවසන් වූ සමාගමය මේ ගමනේ කීයක් රනිල්ට නැති කරමින් අවසන් වේදෑයි මාධ්‍යවලට ප්‍රශ්නයක් වූවාට රනිල්ට ප්‍රශ්නයක් නොවී ය.

පත්තරවල සිනාමුසු මුහුණු දකින්න ලැබුනේ ය. වැළද නොගත්තා පමණය. අතට අත දීමේ කෙළවරක් වගේම ජෝක්වල ඉවරයක් ද තිබුනේ නැත.

එයින් තමන් ප්‍ර‍‍ජාතන්ත්‍රවාදී බව මෙන්ම විපක්ෂය සමග සංවාදයට හා සම්මුතියට සූදානම් බව ද විපක්ෂය පවා තමන්ව එසේ සූදානම් ප්‍රපංචයක් ලෙස දකිනා බව ද ලෝකයට කියන්නට අවස්ථාවක් ආණ්ඩුව ලද්දේ ය.

බෑන්කීමූන්ගෙන් පමණක් නොව යුරෝපයෙන් හා එක්සත් ජනපදයෙන් ද බැට කමින් ඕනැ නැති කතා අසන්නට සිදුව තිබූ ආණ්ඩුවට එය පස්වනක් ප්‍රීතියට හේතුවන්නට ඇත.

ආණ්ඩුවට රැවැට්ටීම ගැන ඉතිහාසයක් තිබේ. සර්ව පාක්ෂික සමුළුවක් දමා ආණ්ඩුව දෙමල දේශපාලන පක්ෂ හා ඉන්දියාව රැවැට්ටී ය. අතුරුදහන් වූවන් හා මරා දමන ලද උතුරේ තරුණයන් පිළිබද සත්‍ය සෙවීමට ජනාධිපති කොමිසම් දමා මානව හිමිකම් සංවිධාන හා එක්සත් ජාතීන් රැවැට්ටීමට තැත් කළේ ය. ඒ දෙවර්ගයෙන්ම අවසානයේ වැඩක් නොගත් ආණ්ඩුව දැන් සංහිදියා කොමිසමක් දමා ජාත්‍යන්තර ප්‍රජාව ද රවට්ටන්නට අමුඩ ගසමින් සිටී. රනිල් රැවටෙන්නට යන්නේ තමන් පමණක් නොව ලෝකයම රැවැට්ටු තවමත් රවට්ටමින් සිටින ආණ්ඩුවකට ය.

තමන් සමග එකට ගමන් කළ (ජවිපෙ මංගල සමරවීර ශ්‍රීපති සූරියආරච්චි සරත් ෆොන්සේකා වැනි) සහෘදයන් ද අවසා‍නයේ අනාථ කොට උන් හිරේ විලංගුවේ දමා තවමත් පලිගනිමින් සිටිනා ආණ්ඩුවකට ය.

එක්කෝ රනිල් පට්ටපල් මෝ‍ඩයෙක් ය. නැත්නම් අවංක මෝඩයෙක් ය. ඒත් නැතිනම් අති දක්ෂ කට්ටයෙක් ය.

තීරණය කරනු ඇත්තේ ඉතිහාසය යි.

අපට නම් රනිල්ගේ මේ අලුත් භූමිකාව දනවන්නේ පිළිකුලකි. එයින් මේ සිදුවෙමින් තිබෙන දේට නව හයියක් ලැබෙන නිසා ය. රැවටිල්ලට අනවශ්‍ය සහතිකයක් ලැබෙන නිසා ය.

මේ විරෝධය හැම විටම විපක්ෂය ආණ්ඩුවට විපක්ෂව සිටිය යුතු යැයි අප අදහස් කරන නිසා නම් නොවේ. ආණ්ඩුව යහපත් වෙනසකට සූදානම් නම් ඒ සදහා විපක්ෂයේ සහය ලැබිය යුතු ය. එහෙත් වෙනත් කිසිම හැසිරීමකින් ආණ්ඩුව ඒ බව ප්‍රදර්ශනය නොකරන අවස්ථාවක රනිල් මේ කරමින් සිටින්නේ ආණ්ඩුවේ අත්තනෝමතිකත්වය සාධාරණීකරණය කිරීම ය.

(කෙටුම්පතක් නැති සාකච්ඡාවකට තමන් සූදානම් නැතැයි කියමින් ජවිපෙ මෙහිදී එළැඹ ඇති ස්ථාවරය ඒ අතින් පරිණත එකකි.)

ආණ්ඩුවෙ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නට උඩ ගෙඩි නොදෙන්නට යයි විපක්ෂයට කියන්නට අපට සිදුව තිබේ. ලංකාවේ විපක්ෂ දේශපාලනය ඒ තරමට අසරණ ය.

ආණ්ඩුවේ නග්න බලය පාවිච්චිය ඉදිරියේ විපක්ෂය පෙන්වන අසරණ කම වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන ඛේදවාචකයේ ගැඹුර මැනවින් පෙන්වයි.

අප අසරණ වෙලා බවක් හිතට දැනෙනවා … බුදු හාමුදුරුවනේ!

Advertisements
Posted in: Uncategorized