මීට වඩා වැදගත් වැඩකට ගිනි තියාගන්නට නොතිබුනේ ද?

Posted on July 30, 2010



පක්ෂයේ බේද ගැන කළකිරී එහි සමගිය පතා රියැන්සි අල්ගම මහතා පක්ෂ මූලස්ථානය වූ සිරිකොත අසල දී සිය සිරුරට ගිනි තබා ගෙන මිය ගොස් ඇතැයි පුවත්පත්වල පළවී තිබුනි.

රට ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගණනාවකට මුහුණ දී ඉන්නා වෙලාවක ඒවාට විරුද්ධව ගිනි තියාගන්නේ නැතිව කෙහෙම්මල් පක්ෂයක් වෙනුවෙන් රියැන්සි ගිනි තබා ගත්තේ ඇයි දැයි දේශප්‍රේමීහු ප්‍රශ්න කරති. ඇත්තටම අපේ ප්‍රශ්නයත් ඒක ය.

තුන්මුල්ලේ තිබී මාධ්‍ය විසින් අපට පෙන්වා සිටි ප්‍රෙටල් බෝතලය හා ගිනි පෙට්ටිය දුටු අපගේ ඇග සීතලව ගියේ කවුරුන්හෝ එතැනදී ගිනි තබා ගනිතැයි සිතා ය. අඩුවශයෙන් බෑන් කි මූන්ට විරුද්ධව නැතත් මරණයේ අභියස සිටි තම නායකයා වෙනුවෙන් ඇඩු ගෑණියෙක්වත් ඒ වැඩය කරාවිදැයි යන සැකයක් අපට තිබුනේ ය.

එහෙත් ආරංචියේ හැටියට නම් ‍එහෙම කෙනෙක් දේශප්‍රේමින්ට හොයා ගන්නට බැරි වී ඇත්තේ ය. එහෙම වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ මේ සොයා ගැනීම දේශප්‍රේමීන්ගේ ඇහේ කටු ඇනීමක් වී තිබේ.

ඇත්තටම රට වෙනුවෙන් මැරී ඉතිරිව සිටින පවුලටවත් වාසියක් අරන් දෙන්නට තිබූ අවස්ථාවක් අල්ගම විසින් අහිමිකර ගෙන තිබේ. අල්ගමට ගිනි තියාගන්නට තිබුනේ බෑන් කී මූන්ට විරුද්ධව තුන්මුල්ලේ ය. එහෙම වුනානම් ජාතික ශෝක දිනයක්වත් ප්‍රකාශ වෙන්නට ඉඩ තිබිණි.

සමහර විට ඩොලර් ගොඩක් මේ සදහා එන්ජීඕ එකකින්වත් ලැබුනා දැයි කියන්නට දන්නේ නැත (ආණ්ඩුවට මෙන් නොව යූඇන්පියට සාමාන්‍යයෙන් කඹුරන්නේ එහෙම මිනිසුන් ය). ඒ බව විපරම් කිරීමට රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් යොදන ලෙස අපි අප‍ගේ ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

(මේ පැත්ත ගැන ආණ්ඩුව පැත්තෙන් මෙතෙක් කල්පනා නොකිරීම ගැන අප හිටියේම සැබෑ ලෙස කලකිරිලා ය.)

එහෙම වෙලා නොතිබුනොත් වෙන්නේ වහකන්න ය. නැත්නම් ඉතින් මේ පැත්තෙන්ද ගිනි තියා ගන්නට කැමති එකෙක් හොයා ගන්න ය.

(තවත් අවාසනාවන්ත සිදුවීමක් අපගේ සටහනකට යොදා ගැනීම මගින් අප කර ඇත්තේ වැරැද්දක් දෝයි හැගුන නමුත් එවැන්නක් හෝ මිනිසුන්ට තම මනැස අවදි කරන්නට යොදා ගත හැකි නම් අපට සමාවක් ලැබේ යැයි සළකා මේ සටහන එක් කර ඇත්තේ ය. එහෙම වුනොත් රියැන්සි අල්ග‍මගේ මරණයෙන් ඔහු පැතූ පක්ෂයට කෙසේ වෙතත් රටට වැඩක් වන්නේ ය.)

Posted in: Uncategorized