මර්වියාගේ කැළණියේ නගරං හා නගරං කාරයින්ගේ කෝලම් මඩුවක් බවට පත්වූ අපේ රට

Posted on July 29, 2010



රට කරවන හැටි රජතුමා දන්නේ නැත. ඒ නිසා මර්වින් කල්පනා කරේ එය කෙසේ කළ යුතු දැයි තමන්ගේ වැයික්කිය වූ කැළණියේ දී කර ආදර්ශයෙන් පෙන්වීමට ය.

කාක්කෙක්ටවත් අවසර නැතිව පියාඹන්නට තහනම් කළ කැළණීයේ ඩෙංගු මදුරුවන් පියාඹනු මර්වින්ට නොරිසියේ ය. එය කැළණියේ ආදර්ශය ක්‍රියාත්මක කරන්නට පසුබිම ද ඔහුට සකසා දුන්නේ ය.

ඒ නිසා ඔහු තමන්ගේ ආචාර්ය පට්ටමටම ගැලපෙන නියෝගයකින් මදුරු උවදුර නැති කිරීමට කටයුතු කළේ ය. ඒ අනුව ඔහු කීවේ කැළණියේ ඩෙංගු හැදී කවුරුවත් මියගි‍යහොත් ග්‍රාමසේවක ලා පිඑච්අයිලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ප්‍රාදේශීයසභාවල වගකිවයුත්තන් යන එකි නොකී වගකිවයුත්තන් ගස් බදින බව ය.

ගැලරිය පැත්තෙන් විසිල් හඩ ඇහේ. ඔන්න ඔහොම තමයි පාලනය ගෙනියන්න ඕන කියන කතා ද කණින් කොනින් ඇසේ.

මර්වියාට රට බාර දිය හැකි නම් මේ යන විදිහට රටම ඩෙංගු උවදුරින් මුදාගත හැකි ය.

ඉතිරි සියලු කටයුතුත් මේ කාර්යක්ෂමතාවයෙන්ම කර ගත හැකි ය. කැළණියේ ග්‍රාමසේවකලා පිඑච්අයිලා හා ‍ප්‍රාදේශීය සභා වගකිවයුත්තන් හැරෙන්නට රටේ වැඩි දෙනෙක් එහෙම හිතනවාට සැක නැත. ඔය ඇගිල්ල හා තර්ජනය තමන්ට නොඑන තාක් මිනිසුන්ට ආශික් ය.

තමන්ට කෝටු මස් කරනු නොරිස්සන බොහෝ දෙනා අනුන් කෝටු මස් කරනු අසන්නට ආසා ය. දකින්නට කැමති ය.

දේශපාලකයින්ට කණක් ඇහී ඉන්නට නම් උන්ගේ සියලු පව් කරගහන්නට හැකි නිලධාරී මඩුල්ලක් හා උන්ගේ රැවටිලි බසට රැවටෙන මිනිසුන් ද වුවමනා ය. ලංකාවේ ඒ දෙකම අඩුවක් නැතිවම තිබේ.

ඒ නිසාම ඩෙංගු තවදුරටත් පවතිනු ඇත. කැළණීයේ මිනිසුන් ද මැරෙනු ඇත.

මිනිහාට බය වී රටට පේන්නට කැළණිය පැත්තේ මොන මොනවා හෝ සිදුවෙනවා ද ඇත. ඒත් ඩෙංගු ප්‍රශ්නයට නම් එයින් විසදුමක් ලැබෙනු නැත්තේ ය.

නග්න බලය යෙදීමට වඩා එහා ගිය දර්ශනයක් අප රටට අවශ්‍යව තිබේ. එහෙත් ඒ බව බොහෝ දෙනෙකුට නොතේරේ. නගරං කාරයින් පාර්ලිමේන්තුවට වැඩි චන්දයෙන් පත්වන්නේ ඒ නිසා ය.

නගරං කාරයින්ගේ කෝලම් මඩුවක් බවට රටම පත්ව ඇත්තේ ඒ නිසා ය.

(නග්න බලය යෙදීමට වඩා එහා ගිය දර්ශනයක් අපට අවශ්‍ය යැයි අප කීවේ යුද්ධය කෙරී ගෙන යන කාලයේම ය. ඒ කාලයේ යුද්ධයේ ආතල් එක විදිමින් සිටි ජනතාවට අප කීයේ කුමක්දැයි පැහැදිලි වූයේ නැත. එය අදටත් ඔවුන්ට පැහැදිලි නැත. මර්වින්ට විසිල් ගහන්නේ යුද්ධකාලයේ ආණ්ඩුවට විසිල් ගහපු ඔවුන් ම ය. ගහපු විසිල් නැවත ගන්නට සිදුවන්නේ ඒ නග්න බලය තමන්ට එරෙහිව ආදාට ය. කැළණීයේ බාර් කාරයෝ ටික කලකට එහි රසය කෙබදුදැයි වටහා ගත්තෝය. ඉවත් කරනු ලැබූ පදික වේදිකා වෙළදුන් ද ඊයේ පෙරේදා සරසවියේ ආචාර්යවරුන් හා සරසවි ශිෂ්‍යයින් ද එය පසක් කරගත්හ. ‍ සෙසු අයට එය තේරෙන්න තවත් කලක් ගත වනු ඇත. එදාට බෑන් කී මූන්ලාට මැදිහත්වෙන්නැයි ආයාචනු කරනු ඇත්තේ ද ඔවුන්ම ය.)

Posted in: Uncategorized